ආපදා පනත වෙනස්වෙයි - ජනපතිගෙන් නව උපදෙස්
ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාවේ 14 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (06) පස්වරුවේ පැවැත්විණි.
ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව මෙවර රැස්වන්නේ වසර 07කට පසුව බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
2004 වසරේ දී ඇතිවූ සුනාමි ව්‍යසනයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබඳව ඇතිවූ ජාතික අවශ්‍යතාවය මත 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතට අනුව ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ස්ථාපිත කර ඇත.
මෙම සභාව අවසන් වරට රැස්ව තිබෙන්නේ 2018 වසරේ අප්‍රේල් මස 05 වනදාය.
ආපදා කළමනාකරණය වෙනුවෙන් වගකිව යුතු සියලු ආයතන වෙත පැවරී ඇති කාර්යභාරය නිසි පරිදි අධීක්ෂණය කරමින් රට තුළ ආපදා අවදානම අවම කිරීමත් ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් මගපෙන්වීමත් මෙම සභාව මඟින් සිදු කිරීමට නියමිතය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික හා පළාත් මට්ටමින් ආපදා අවදානම් සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීම මෙම සභාව මඟින් සිදු කෙරේ.
මෙම සභාවාරයේදී ආපදා කළමනාකරණ සැලසුම් හා ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැලැස්ම ඉදිරිපත් කරන ලද අතර සභාව විසින් එය අනුමත කරන ලදී.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආපදා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග නව ප්‍රවණතා හා ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා වූ අතර, මෙකී කටයුතු වෙනුවෙන් කේන්ද්‍රීය මෙහෙයුමක් සහිත එක් ව්‍යුහයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් කමිටුවේ අවධානයට යොමු විය.
වත්මන් දේශගුණික විපර්යාසයන් හමුවේ ව්‍යසන කළමනාකරණය වඩා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව අවධානයට ලක් කරමින්, නව අභියෝගයන්ට මුහුණ දීම සඳහා මේ වන විට ක්‍රියාත්මක පනත කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය විය යුතු බවට කමිටුව විසින් තීරණය කරන ලදී.
එමෙන්ම, පැවැති ව්‍යසන කළමනාකරණය හා සහන සැලසීමට සම්බන්ධ මූල්‍යමය සීමාවන් සංශෝධනයටත්, නැවතී ඇති ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලදී.
වර්තමාන තත්ත්වයන්ට ගැළෙපෙන පරිදි ආපදා කළමනාකරණ පනත යාවත්කාලීන කරන ලෙස මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
ආපදා කළමනාකරණය සඳහා අරමුදලක් ඇති කිරීමටද යෝජනා කෙරුණු අතර ඊට සභාවේ අනුමැතිය හිමි විය. අවදානම් නිවාස හඳුනාගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙසත් එම නිවාසවලින් ජනතාව ඉවත් කර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
නිවාස සඳහා රජයෙන් ලබා දෙන වන්දි මුදලද වැඩිකිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී යෝජනා කළේය. තවමත් අවතැන් කඳවුරුවල සිටින ජනතාව පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ අවධානය යොමු වූ අතර බදුල්ල, පූනාගල පවුල් 58ක් තවමත් අවතැන් කඳවුරුවල සිටින බව මෙහිදී අනාවරණය විය. එම පවුල් 58 අගෝස්තු මාසය අවසන් වීමට පෙර නැවත පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බව ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ ජේ. එම්. කපිල ජයසේකර මහතා පැවසීය.
මෙම සභාවේ සභාපති ලෙස ජනාධිපතිවරයා ද, උප සභාපති ලෙස අග්‍රාමාත්‍යවරයා ද, විපක්ෂ නායකවරයා, අදාළ විෂයභාර අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් (හෝ ඔවුන් නොමැති විට ආණ්ඩුකාරවරුන්), සහ පාර්ලිමේන්තුවෙන් නම් කරන ලද මන්ත්‍රීවරුන්/විශේෂඥයින් පස් දෙනෙකු ද ඇතුළත් වේ. අවශ්‍යතාවය අනුව නිශ්චිත කාලයකට අමාත්‍යවරයෙකු සභාවට එක් කරගත හැකි බව ද සඳහන් වේ. මෙම සභාවේ ලේකම්වරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වයිස් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පත්කරන ලද අතර ඒ අනුව ඒ මහතා ඉදිරියේ දී ව්‍යසන කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.
සභාවේ ප්‍රධාන කාර්යයන් 15ක් පවරා ඇති අතර, ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ද ඊට අයත් වන අතර, එය දැනටමත් සකස් කර සාමාජිකයන්ට ලබා දී ඇත. මෙම ප්‍රතිපත්තිය ජීවිත හා පරිසරය ආරක්ෂා කිරීම, පුනරුත්ථාපන කටයුතු, මහජනතාව දැනුවත් කිරීම, පුහුණු කිරීම සහ සහන ලබා දීම වැනි කරුණු ගණනාවක් එමඟින් ආවරණය කෙරේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිශාන්ත අබේසේන, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජාතික ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන අමාත්‍යවරුද, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, පළාත් ආණ්ඩුකාරවරු සහ ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාවේ සාමාජිකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.
- PMD
