අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ගෙන්නන්න නීතිමය ගැටලුවක් නැහැ - උදය ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමේ ක්‍රියාවලියේ කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බවයි.
එසේ නීතිමය ගැටලුවක් ඇතැයි රජය පවසන්නේ නම්, ඒ සම්බන්ධයෙන් සිංගප්පූරු රජය ඉදිරිපත් කරන හේතුව රටට දැනුම් දිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
කොළඹදී පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ ගම්මන්පිල මහතා, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද ප්‍රකාශ කළේය:
"බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් අනිවාර්යයෙන්ම රටට ගෙන එන බව මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.
බැඳුම්කර වංචාවට වසර 10ක් ගතවී ඇති තත්ත්වයක් තුළ, අර්ජුන් මහේන්ද්‍රන් රටට ගෙන ඒමේදී නීතිමය ගැටලුවක් ඇති බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක නළින්ද ජයතිස්ස ප්‍රකාශ කර තිබෙනවා.
අර්ජුන් මහේන්ද්‍රන් රටට ගෙන ඒම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලේඛනවලට අත්සන් තැබූ බව කී අතර, අර්ජුන් මහේන්ද්‍රන් රටට ගෙන ඒම සඳහා ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බව කියද්දීත් වත්මන් රජයම මේ සියලු දෙනා මිතුරන් බව රටේ ජනතාවට කියා තිබුණා.
නමුත්, දැන් ඔවුන්ම අර්ජුන් මහේන්ද්‍රන් රටට ගෙන ඒමේදී නීතිමය ගැටලුවක් ඇති බව කියනවා. එසේ නම් ජනාධිපතිවරණ කාලයේදී රටේ ජනතාවට මොවුන් බොරු කියා තිබෙනවාද? මොවුන් එවිට නීතිය දැන සිටියේ නැද්ද? එසේ නොවේ නම් ජනාධිපතිවරණයේදී කෙසේ හෝ ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරිපත් කළ ව්‍යාජ පොරොන්දු අතර අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ කරුණද ඇතුළත්ද? යන්න ජනාධිපතිවරයා වහාම රටේ ජනතාවට පැහැදිලි කළ යුතුයි.
අපි දන්නා පරිදි අර්ජුන් මහේන්ද්‍රන් රටට ගෙන ඒමේදී කිසිදු නීතිමය ගැටලුවක් නැහැ. යම් රටක සොයනු ලබන වරදකරුවෙකු හෝ සැකකරුවෙකු වෙනත් රටකින් එම රටට ගෙන ආ යුතු නම්, දෙරට අතර උද්දර්පණ නීතියක් තිබිය යුතුයි.
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර උද්දර්පණ නීතියේ ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් කර නොතිබුණද, දෙරටම පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය දරනවා. ඒ නිසා පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක වරදකරුවෙකු භාර දෙන ලෙස ඉල්ලා සිටියහොත්, සිංගප්පූරුව එම පුද්ගලයා භාර දිය යුතු බවට දෙරටේම නීති පනවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ 1977 අංක 08 දරන උද්දර්පණ පනත සම්මත කර තිබෙනවා. මෙම නීතිය යටතේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 56ක් අපෙන් වරදකරුවෙකු භාර දෙන ලෙස ඉල්ලා සිටියහොත්, ඔහු භාර දිය යුතු බව නීතියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මෙම කරුණ මෙම රටවල් 56හි ආරක්ෂාව භාර අමාත්‍යවරුන් විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අනෙක් අතට, මෙම ගැටලුවේදී සිංගප්පූරුවේ නීතිමය ප්‍රතිපාදන කෙසේ පවතින්නේද යන්න පරීක්ෂා කළ යුතුව තිබෙනවා. මේ දක්වා සැකකරු සිංගප්පූරුවේ සිටිනවා.
සිංගප්පූරුවේ 1968 වසරේ සම්මත කරන ලද උද්දර්පණ නීතිය යටතේ වරදකරුවෙකු භාර දෙන ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් ඉල්ලීමක් ඉදිරිපත් කළහොත්, අදාළ පුද්ගලයා එම රටට භාර දීමට සිංගප්පූරු රජය නීත්‍යානුකූලව බැඳී සිටිනවා.
කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා භාර නොදී සිටීමටද සිංගප්පූරු උද්දර්පණ නීතියේ ප්‍රතිපාදන කිහිපයක්ද සංස්ථාපනය කර තිබෙනවා. භාර දෙන ලෙස ඉල්ලා සිටින පුද්ගලයා අදාළ රටේ නීති රෙගුලාසි අනුව වරදක් නොකර තිබීම හෝ එම වරද සඳහා සිංගප්පූරු රජය විසින් දඬුවම් නියම කර තිබීම, සිංගප්පූරු බන්ධනාගාරයක සිර දඬුවම් විඳ තිබීම, සිංගප්පූරු අධිකරණයක් විසින් ඇප මත නිදහස් කර තිබීම, එසේ නොමැති නම් දේශපාලන කුමන්ත්‍රණයක් සඳහා පුද්ගලයෙකු භාර දෙන ලෙස ඉල්ලීම වැනි හේතූන් මත එම පුද්ගලයා සිංගප්පූරු රජය විසින් භාර නොදෙනු ඇත.
එසේ නම්, අර්ජුන් මහේන්ද්‍රන් රටට ගෙන ඒමේදී නීතිමය ගැටලුවක් ඇතැයි රජය පවසන්නේ නම්, කුමන නීතියක් මත පදනම්ව එය කළ නොහැකිව ඇත්ද? මෙහි ඇති නීතිමය ගැටලුව කුමක්ද යන්න නළින්ද ජයතිස්ස රටට දැනුම් දිය යුතුයි. එසේ නොමැති නම්, අර්ජුන් මහේන්ද්‍රන්ගේ සහය ලබාගත් පුද්ගලයන්ද තවමත් මෙම රට පාලනය කරන්නේ යන්න පිළිබඳ සැකයක් මතුවනවා.
එසේම, කුමන හේතුවක් නිසා අර්ජුන් මහේන්ද්‍රන් භාර දිය නොහැකි බව සිංගප්පූරු රජය පවසන්නේද යන්න රජය රටට හෙළි කළ යුතුයි. අපි දන්නා නීති රෙගුලාසි අනුව අර්ජුන් මහේන්ද්‍රන්ගේ කරුණ සම්බන්ධයෙන්, සිංගප්පූරු උද්දර්පණ නීතිය අනුව එම රජය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු කරුණක් පදනම් වන්නේ නැහැ. කෙසේ වෙතත්, අපට නොදන්නා වෙනත් යම් හේතුවක් සිංගප්පූරු රජය දන්වා තිබේ නම්, එය රටේ ජනතාවට දැනුම් දීම නළින්ද ජයතිස්සගේ වගකීමක්" යැයි උදය ගම්මන්පිල මහතා පැවසීය.
