දිස්ත්‍රික් කිහිපයකට නායයෑම් රතු නිවේදනයක් - ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම්දීමක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 3 යටතේ ඉවත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එමෙන්ම දිස්ත්‍රික් කිහිපයකට අදාළව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස (ඇම්බර්) දැනුම් දී ඇති ප්‍රදේශ අතර මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළත් වේ.
මේ අතර අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස (කහ) දැනුම් දී ඇත්තේ, මහනුවර දිස්ත්‍රික්කය: පන්විල මැදදුම්බර කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට දැරණියගල රත්නපුර දිස්ත්‍රික්කය: නිවිතිගල කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාය.
මෙම අනතුරු ඇඟවීම අද (03) උදෑසන 9.00 සිට හෙට (04) උදෑසන 9.00 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. ඉදිරි දින කිහිපය තුළද වැසි තත්ත්වය පැවතිය හැකි බැවින් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් විමසිලිමත්ව කටයුතු කරන ලෙස එම සංවිධානය දැනුම් දෙයි.
පසුගිය වර්ෂා කාලවලදී අවදානම් බවට හඳුනාගත් ස්ථානවල ජීවත්වන ජනතාව, වර්ෂාපතනය තවදුරටත් ඉහළ ගියහොත් එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.