කෝටි 110ක “කුෂ්–හෑෂ්” සමඟ භික්ෂූන් 22ක් අල්ලයි – මෙහෙයවූ ප්‍රධාන හිමිනමත් අත්අඩංගුවට [UPDATE]
"කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22ගේ විදේශ සංචාරය සංවිධානය කළ බව කියන ප්‍රධාන සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඒ ගම්පහ, මීහගවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්. අත්අඩංගුවට ගත් හිමිනම, මත්ද්‍රව්‍ය සමඟ පැමිණි අනෙක් භික්ෂූන් වහන්සේලා 22 නමගේ තායිලන්ත සංචාරය සැලසුම් කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.
රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුත් " කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිසිය පැවසුවේ, තායිලන්තයේ සිට පැමිණි මෙම චීවරධාරීන් පිරිස සමග පොලිසිය භාරයට ගත් අදාළ මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් තිබුණේ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා බවයි.
අත්අඩංගුවට ගත් මෙම චීවරධාරීන් පිරිස ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට අයත් චීවරධාරීන් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරන බවට ද මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.