වසා දැමූ නුවර පාරට කරන්න යන දේ..නවතම පියවර මෙන්න.
කොළඹ නුවර මාර්ගයේ නායයෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත්කොට වෙළෙඳසැල් නැවත ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මහා මාර්ග අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.
(23) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ රැස්වීමක දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීහු පිරිසක් ද පහළ කඩුගන්නාව වෙළෙඳ සංගමය නියෝජනය කරමින් පිරිසක් ද එම රැස්වීමට සහභාගී වී ඇත.
නායගිය ස්ථානයේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
තවද මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක් නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.
මීට අමතරව, සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හඳුන්වා දීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද මාර්ගය හා පිහිටි ගල් පර්වර්තය අතර කොටස පරිසර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමටද අවශ්‍ය උපදෙස් ලබා දීම මෙහිදී සිදුව තිබේ.
එම ප්‍රදේශය අධි සංරක්ෂිත ප්‍රදේශයක් බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත කඩිනමින් සංවර්ධන කටයුතු සිදුකළයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |