මහර බන්ධනාගාර ගැටුමෙන් කෝටි 15කට වැඩි හානියක් - යම්කිසි පිරිසක් පිටත සිට මෙහෙයවනවා දැයි අධිකරණ ඇමතිට සැකයක්
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසා ඇත්තේ මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම මීගමුවේ සිද්ධියට වඩා වෙනස් බවයි. ඔහු වැඩිදුරටත් මාධ්‍යට පවසා ඇත්තේ මීගමුවේ ගැටුම ඇතිවූයේ රැඳවියන් රැඳවියන් අතර බවත්, මහර සිදුවූයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර බවත්ය.
මේ අතර මෙලෙස බන්ධනාගාර තුළ නොසන්සුන්තා ඇතිවීමට යම්කිසි පිරිසක් සංවිධානාත්මක ආකාරයෙන් පිටත සිට මෙහෙයවනවාද යන්න පිළිබඳව තමන්ට සැකයක් තිබෙන බවද මීට පෙර හේතුවක් නොමැතිව මෙවැනි තත්ත්වයන් ඉස්මතු නොවූ බවත්, ඒ හේතුවෙන් ඒ පිළිබඳ සොයාබැලීමට කටයුතු කරන බවද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසා ඇත.
මේ අතර බන්ධනාගාර තුළ ගැටුම් ඇතිවීමට බන්ධනාගාර තදබදය එක් හේතුවක් වන වුවත්, වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම එම තත්ත්වය ඇතිවී තිබූ බව පැවසීය.
කෙසේ නමුත් මේ වනවිට එම තත්ත්වය මගහරවාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන් කළේය. මෙහිදී අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කළ තවත් කරුණක් වූයේ රැඳවියන් පොදු දේපොළ හානි කිරීමය.
ඒ අනුව පොදුදේපොළ හානි කිරීම් පිළිබඳ විමර්ශනයක් සිදුකර ඊට දැඩි පියවර ගන්නා බව පැවසීය. ඒ අනුව මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 15කට අධික බවත් ගැටුම හේතු සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
රැඳවියන් බන්ධනාගාරයේ දේපොළ රැසක් විනාශ කර ඇති බවත් බොහෝ ගොඩනැගිලිවල උළු බිඳී, වහලට දැඩි ලෙස හානි සිදුකර ඇති බවත්, බන්ධනාගාර පුනරුත්ථාපන වැඩසටහන්වලදී මැහීම් කටයුතු සඳහා භාවිත කරන උපකරණ රැසක් රැඳවියන් විනාශකර තිබූ බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා ඇත.
සිද්ධිය ඇතිවූ ඊයේ මධ්‍යම රාත්‍රීය වනතුරුම රැඳවියන් බන්ධනාගාර පරිශ්‍රයේ සිට පිටතට ගල් මුල් ප්‍රහාර එල්ලකර තිබීම හේතුවෙන් ගල් ප්‍රහාර නිසා බන්ධනාගාරය අවට නිවාස කිිහිපයකටත් හානි ව ඇත.
මෙම ගැටම මෙහෙයවා ඇත්තේ සාතන්, අසාර්, පැට්ටා සහ තවත් රැඳවියෙකු එකතු වී බව පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේ නොසන්සුන්තාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් හඳුනාගෙන, ඔවුන් අතරින් 104 දෙනෙකු බූස්ස ඇතුළු තවත් බන්ධනාගාර 7ක් වෙත මාරුකර යැවීමටයි.
කෙසේ නමුත් මෙම නොසන්සුන්තාවෙන් එක් රැඳවියෙකු මියගිය අතර, තවත් රැඳවියන් 9 දෙනෙකු තුවාල ලැබූහ. මරණයට පත්ව ඇත්තේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙක්ය.
ඔහු යතුරුපැදියක් සොරකම් කිරීම සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකු බව වාර්තා වේ.