ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සනත් අද සමුගනී
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (28) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සුපර් 8 වටයේ තරගය, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතාගේ පුහුණුකාරිත්වය දරන අවසන් තරගය වේ.
තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම ජයසූරිය මහතා මෙම තරගාවලියෙන් අනතුරුව ධුරයෙන් ඉවත් වන බව තහවුරු කර තිබූ අතර, එම තීරණය මේ දක්වා වෙනස් වී නොමැත.
ඔහු පැවසුවේ, තම ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පවතින නමුත් එම ධුරයේ රැඳී සිටීමට කිසිදු අදහසක් නොමැති බවයි. 2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගාවලියේදී තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගත් ජයසූරිය මහතා, එම වසර අවසානයේදී පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරිණි.
ඔහුගේ ප්‍රධාන පුහුණුකරු ධුර කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවල තරග 74ක් ක්‍රීඩා කර ඇති අතර, ජයග්‍රහණ 34ක්, පරාජයන් 38ක් සහ ජය පරාජයෙන් තොර තරග 2ක් ලෙස සටහන් වේ.
මෙම තරගය ශ්‍රී ලංකාවේ සුපර් 8 අවසන් තරගය වන අතර, තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ කණ්ඩායම පිටතට ගියත් පාකිස්තානයට එරෙහි මෙම තරගයෙන් පසුව ජයසූරිය මහතාගේ පුහුණුකාරිත්වය නිල වශයෙන් අවසන් වේ.
ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන්ගෙන් තහවුරු වී ඇති බව වාර්තා වේ.