මන්ත්‍රීවරයෙක්ගෙන් හදිසියේම ජනපතිට සැර ලිපියක්...

By Sithumi May 03, 2022 01:35 PM GMT
Sithumi

Sithumi

Report

ආණ්ඩුව කරන්නේ නම් එය හරියට කළ යුතු බවත් ජනතාවාදීව කටයුතු කළ නොහැකිනම් ආණ්ඩුව අතහැර යා යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් අද (3) දැනුම් දුන්නේය.

එසේම මන්ත්‍රීවරයා විසින් එම ලිපියෙන් ජනාධිපතිවරයාට යෝජනා පහක්ද ඉදිරිපත් කරනු ලැබ ඇත. ඔහු ඉදිරිපත් කරන එම යෝජනා පහ වන්නේ ඖෂධ හිඟය වැළැක්වීම සඳහා සුවිශේෂ ප්‍රමුඛත්වයක් ලබාදී ඖෂධ කඩිනමින් ගෙන්වීමට අවශ්‍ය පියවර ගැනීම, ඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් ගෙන්වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම පාලනය කිරීමට කටයුතු කිරීම සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආධාර මුදලක් කඩිනමින් ලබා දීම, කඩිනම් වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමයි.

ජනතාවගේ ආර්ථික ගැටලුවට විසඳුම් ලබාදීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත් රටේ පවතින තත්වය පිළිබඳව ජනතාව ඇතුළු සියළු බලවේගවලට නිවැරදි තොරතුරු සන්නිවේදනය කළ යුතු බවත් මන්ත්‍රීවරයා එම ලිපියෙන් දැනුම්දී ඇත. මේ මොහොතේදීවත් නිසි කලට නිවැරදි තීන්දු ගනිමින් හා ජනතාවගේ ප්‍රශ්න වලට වහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයිද ඔහු ඉල්ලීමක් කළේ‍ය.

එසේම ආණ්ඩුවක් ලෙස කණ්ඩායමක් ලෙස සියලුම දෙනා එක්ව තබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now