පා පන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉරානය ඉවත් කරන්න ඇමරිකාවෙන් බලපෑම්
2026 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති ඉරාන කණ්ඩායම ඉවත් කර, ඒ වෙනුවට ඉතාලිය ආදේශ කරන ලෙස අමෙරිකානු විශේෂ නියෝජිත පාවුලෝ සැම්පොලි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව ඒකාබද්ධව සත්කාරකත්වය දරන මෙම තරගාවලියට සහභාගී වීම සඳහා තමන් පූර්ණ සූදානමකින් සිටින බව ඉරානය මීට පෙර තහවුරු කර තිබිණි.
ෆීෆා සභාපතිවරයා ද පසුගිය සතියේ අවධාරණය කළේ ජූනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වෙන තරගාවලියට ඉරානය අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු මාසයේදී ප්‍රකාශ කර තිබුණේ ඉරාන කණ්ඩායමට තරගාවලිය සඳහා සාදරයෙන් පිළිගන්නා නමුත්, ඔවුන්ගේ "ජීවිත සහ ආරක්ෂාව" පිළිබඳ යම් ගැටලුවක් පවතින බවයි.
තරග කාලසටහනට අනුව ඉරානය සිය මූලික වටයේ තරග බෙල්ජියම, නවසීලන්තය සහ ඊජිප්තුව සමඟ සියැටල් සහ ලොස් ඇන්ජලීස් නගරවලදී ක්‍රීඩා කිරීමට නියමිතය.
මෙම තරග මෙක්සිකෝව වෙත මාරු කරන ලෙස ඉරානය කළ ඉල්ලීම ෆීෆා ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.