ඉරාන ප්‍රහාරවලින් අමෙරිකාවට $800M හානි – යුද්ධය උණුසුම් වෙයි
මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා භාවිත කරන යුද කඳවුරු ඉලක්ක කර ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් යුද්ධය ආරම්භ වී පළමු සති දෙක තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 800ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 240ක) හානියක් සිදුව ඇති බව නව විශ්ලේෂණයකින් හෙළි වී තිබේ.
උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය සහ බීබීසී පුවත් සේවය එක්ව සිදු කළ මෙම විශ්ලේෂණයට අනුව, මෙම හානියෙන් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ යුද්ධය ආරම්භ වූ පළමු සතිය තුළ ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙනි.
කලාපය තුළ පවතින අමෙරිකානු දේපළවලට සමස්තයක් ලෙස සිදුවූ හානිය මෙතෙක් නිශ්චිතව හෙළි නොවුණත්, යුද යටිතල පහසුකම්වලට සිදුවූ මෙම ඩොලර් මිලියන 800ක හානිය මීට පෙර වාර්තා වූවාට වඩා සැලකිය යුතු ඉහළ මට්ටමක පවතින බව බීබීසී වාර්තා කරයි.
ගැටුම් දිග්ගැස්සීමත් සමඟ අමෙරිකාවට දැරිය යුතු පිරිවැය ඉහළ යන බවට මෙය සංඥාවක් ලෙස සැලකේ. උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය හි ජ්‍යෙෂ්ඨ උපදේශක මාර්ක් කැන්සියන් මහතා පවසා ඇත්තේ, “කලාපයේ අමෙරිකානු කඳවුරුවලට සිදුවූ හානිය නිසි පරිදි වාර්තා වී නැහැ. හානිය ඉතා විශාල බව පෙනෙන්නට තිබුණත්, වැඩිදුර තොරතුරු ලැබෙන තෙක් නිශ්චිත ප්‍රමාණය කිව නොහැකියි” යනුවෙනි.
ප්‍රහාරවලින් විශාලතම හානිය සිදු වී ඇත්තේ ජෝර්දානයේ ගුවන් කඳවුරක පිහිටි 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතියට අදාළ රේඩාර් යන්ත්‍රයකට එල්ල වූ ප්‍රහාරයෙනි. පෙන්ටගනයේ අයවැය ලේඛනවලට අනුව එම රේඩාර් පද්ධතියක වටිනාකම පමණක් ඩොලර් මිලියන 485කි. ඊට අමතරව ගොඩනැගිලි හා අනෙකුත් යටිතල පහසුකම්වලට ඩොලර් මිලියන 310ක අමතර හානියක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
බීබීසී වෙරිෆයි ආයතනය චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් කළ විශ්ලේෂණයකදී හෙළි වී ඇත්තේ, ඉරානය අවම වශයෙන් ගුවන් කඳවුරු තුනකට (කුසෙයිට්හි අලි අල්-සලීම්, කටාර්හි අල්-උඩෙයිඩ්, සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන්) එක් වතාවකට වඩා ප්‍රහාර එල්ල කර ඇති බවයි. බහරේන්හි නාවික කඳවුර සහ කුවේට්හි කැම්ප් අරිෆ්ජාන් මධ්‍යස්ථානය ද නැවත නැවතත් ප්‍රහාරයට ලක්ව ඇත.
පෙබරවාරි 28 වැනිදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට ප්‍රහාර ආරම්භ කළ දා සිට අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය ඇස්තමේන්තු කරන පරිදි සිවිල් වැසියන් 1,400කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව මරණ සංඛ්‍යාව 3,200කට ආසන්නය.
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීම සහ එරට හමුදා ශක්තිය අඩපණ කිරීමේ අරමුණු ඉටු කර ගැනීමට අමෙරිකාව සමත් වී ඇති බවයි. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාමේ බිය සහ යුද්ධයේ කාලසීමාව පිළිබඳ අවිනිශ්චිතතාව හේතුවෙන් ගෝලීය ආර්ථිකය දැඩි ලෙස කැලඹී ඇත.
උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය වාර්තාවකට අනුව යුද්ධයේ පළමු දින 12 සඳහා පමණක් අමෙරිකාවට ඩොලර් බිලියන 16.5ක වියදමක් වී ඇති අතර, පෙන්ටගනය මේ වනවිට තවත් ඩොලර් බිලියන 200ක අමතර ප්‍රතිපාදන ඉල්ලා ඇත. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මහතා පවසන්නේ “නරක මිනිසුන් මරා දැමීමට මුදල් වැය වන” බවයි.