කාන්තාවන්ට සිදුවන භයානක අනතුරක් ගැන විශේෂ විමර්ෂණයක්

Sri Lanka Dubai Sri Lanka Police Investigation
By Sithumi Sep 23, 2022 12:06 PM GMT
Sithumi

Sithumi

Report

සංචාරක වීසා මාර්ගයෙන් ඩුබායි රැකියා සඳහා කාන්තාවන් පිටත් කළ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ, සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත් කර රැකියා ලබානොදී එරට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින බවට වාර්තාවීමත් සමගය. ඒ අනුව විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස් ඇති අතර තවත් කණ්ඩායමක් සංචාරක වීසා මගින් ඩුබායි රැකියාව සඳහා ගොස් පොරොන්දු වූ පරිදි රැකියාව නොලැබීම හේතුවෙන් යළි දිවයින පැමිණි කාන්තාවගේ නිවසට ගොස් තිබේ. 

 සංචාරක වීසා මගින් පුද්ගලයින් රැකියා සඳහා යොමු කළ ජනතා විදේශ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රලාභියාව අද (23) කාර්යාංශයේ දඹුල්ල ශාඛාව වෙත කැඳවා විමර්ශන ආරම්භ කර ඇත. එසේම ඩුබායි රාජ්‍යයේ රැඳීසිටින කාන්තාවන් 85දෙනා පිළිබඳව ඩුබායි කොන්සල් කාර්යාලය වෙත ලිඛිතව දැනුම්දී ඇති බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යෑමට උනන්දු බැවින් වංචාකරුවන් ඉන් ප්‍රයෝජන ගැනීමට පෙළඹී සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් කාර්යාංශයට ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යන බවත් www.slbfe.lk වෙබ් අඩවියෙන් හෝ කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් මහජනතාවට රැකියා නියෝජිතායතනවල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු දැනගත හැකිය.

විදේශ රැකියා වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඔවුන් පිළිබඳව තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත 0112 86 42 41 අංකය ඔස්සේ දැනුම්දිය හැකිය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW