ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කරයි - 93 නැවත ලංකාවට ගෙන්වා ගැනීමට සියල්ල සූදානම්
විදේශ රටවල සැඟවී සිටින, මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
"රටම එකට" ජාතික මෙහෙයුම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම තොරතුරු අනාවරණය කළේය.
2024, 2025 සහ 2026 ගතවූ කාලය තුළ මෙම ජාත්‍යන්තර රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත්, මීට අමතරව පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත තවත් ප්‍රමුඛ පෙළේ නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙන ඒමට හැකිවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙලෙස මෙරටට ගෙන්වා ගන්නා ලද සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් වාහන, නිවාස, රත්‍රන් සහ ඉඩම් ඇතුළු විශාල දේපොළ ප්‍රමාණයක් රාජසන්තක කිරීමේ විශේෂ වැඩසටහනක් ද මේ වන විට සක්‍රීයව ක්‍රියාත්මක වේ.
ඒ අනුව 2024 වසරේදී රුපියල් මිලියන 1,490ක දේපොළ සහ 2025 වසරේදී රුපියල් මිලියන 1,549ක දේපොළ රජයට පවරාගැනීමේ මූලික පියවර ලෙස අක්‍රිය කිරීමට පියවර ගෙන ඇති අතර, 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 839ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජය සතු කරගැනීම සඳහා වන මූලික නීතිමය ප්‍රවේශයන්ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.