ලොතරැයි ගන්න ඔයාට විශේෂ පණිවිඩයක් - මහා පරිමාණයේ වංචාවක් එළියට
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සිදුකරන දිනුම් ඇදීමේ අංක පදනම් කරගනිමින් පවත්වාගෙන යනු ලබන නීති විරෝධී සූදු ක්‍රියාකාරකම් හේතුවෙන් සමාජය තුළ අතිශය බරපතළ ව්‍යසනයක් නිර්මාණය වී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සිරිල් ඇන්තනි පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුකමිටුව හමුවට ලොතරැයි මණ්ඩල දෙකෙහි නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම තොරතුරු අනාවරණය කළේය.
මෙම අතිශය විනාශකාරී තත්ත්වය මත්ද්‍රව්‍ය භාවිතයට පමණක් දෙවැනි වන තරමේ බරපතළ එකක් බව පෙන්වා දුන් සභාපතිවරයා, මීට වසර 4-5කට පෙර ගම්මාන තුළ රුපියල් 100 වැනි සුළු මුදලකින් ආරම්භ වූ "කොටු කැපීමේ" සූදුව මේ වන විට දැවැන්ත සංවිධානාත්මක ජාවාරමක් දක්වා වර්ධනය වී ඇති බව පැවසීය.
මෙහිදී 0 සිට 9 දක්වා වූ සංඛ්‍යා රටාවලින් අංක 2ක් තෝරාගෙන, එදින නිකුත් වන ලොතරැයියේ අවසාන අංක දෙක වෙනුවෙන් ඔට්ටු ඇල්ලීම සිදුකෙරේ.
සාමාන්‍යයෙන් ලොතරැයි දිනුම් ඇදීම් රාත්‍රී 7.30ට සිදු කළද, මසකට අවශ්‍ය සියලු දිනුම් ඇදීම් එකවර සිදු කර දිනපතා නිකුත් කරන බවට ව්‍යාජ තොරතුරු පතුරා, WhatsApp සමූහ හරහා මෙම මුදල් වංචාව මහා පරිමාණයෙන් මෙහෙයවන බව ද හෙළි වී තිබේ.
ප්‍රදේශයේ පවතින ආර්ථික ක්‍රියාකාරකම් අනුව ඔට්ටු මුදල් වෙනස් වන අතර, මනම්පිටිය වැනි වී අස්වැන්න නෙළන ප්‍රදේශවල "කොටුවක්" රුපියල් 30,000ක් දක්වාත්, රත්නපුර වැනි මැණික් ආශ්‍රිත ප්‍රදේශවල රුපියල් ලක්ෂය ඉක්මවාත් ඔට්ටු තබන බව සභාපතිවරයා සඳහන් කළේය.
මෙම සූදුවට ඇබ්බැහි වීම හේතුවෙන් බොහෝ පිරිසකට තම ඉඩකඩම් සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් කාන්තාවන්ගෙන් ද නිරන්තරයෙන් පැමිණිලි ලැබෙමින් පවතී.
මෙම ජාවාරම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට, රාජ්‍ය බුද්ධි සේවාවට මෙන්ම මධ්‍යම දූෂණ අපරාධ විමර්ශන ඒකකයට මීට පෙර පැමිණිලි කර තිබුණද මෙතෙක් ඊට නිසි පියවර ගෙන නොමැති බව සභාපතිවරයා පැවසීය.
ජාතික ලොතරැයි පනත යටතේ ආයතනයට නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ නීත්‍යානුකූල ලොතරැයි ඇදීම් සඳහා පමණක් වන බැවින්, මුදල් අමාත්‍යාංශයේ සෘජු සහාය නොමැතිව මීට එරෙහිව නීතිමය පියවර ගැනීම අභියෝගයක් වී තිබේ.
මෙම නීති විරෝධී සූදුව තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොතරැයි මණ්ඩලවල ව්‍යාපාරික පැවැත්ම මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිත ද සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ දැඩි අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.