ඉන්දියාවේ ජනගහනය 2060 දී බිලියන 1.7ක් දක්වා ඉහළට...
2060 වසරේදී ඉන්දියාවේ ජනගහනය බිලියන 1.7 ක් දක්වා ඉහළ යනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.
ඉන් පසුව, 2100 වසර වන විට එම ජනගහනය සියයට 12 කින් අඩුවනු ඇති බවත් එම සංවිධානය පුරෝකථනය කර තිබෙනවා.
නමුත් එලෙස ජනගහනය සියයට 12 කින් පහළ ගියත් 2100 වසරේදීත් චීනයේ ජනගහණය මෙන් 2.5 ගුණයක් ඉන්දියාවේ සිටිනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේය.
ඊයේ (11) දිනයේ දී, 2024 ලෝක ජනගහන අපේක්ෂාවන් වාර්තාව නිකුත් වූ අතර එම වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම පුරෝකථනයන් සිදු කළේය.
එමෙන් ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත්තේ, ඉදිරි වසර 50 - 60 ක කාලය තුළ ලෝක ජනගහනය අඛණ්ඩව වර්ධනය වනු ඇති බවත් වර්තමානයේ බිලියන 8.2 ක් වන ලෝක ජනගහනය 2080 දශකය මැද භාගය වනවිට බිලියන 10.3 දක්වා ඉහළ යනු ඇති බවත් ය.
පසුව ලෝක ජනගහනය 2100 වසර වනවිට නැවතත් බිලියන 10.2 දක්වා පහත වැටෙනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.
