"විදුලි බිල වැඩි කරන්න ඕනෙ නැහැ, තියෙනවා කිව්ව බිලියන 41 ක ඒකට යොදවන්න"(VIDEO)
විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල වැඩි කිරීමට සිය පූර්ව කථනය ඉදිරිපත් කිරීම පිළිබඳ අදහස් පළ කරමින් අද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව එහි සභාපති අතුල මහතා සඳහන් කළේ ඉදිරියේ දී විදුලි බිල 35% ත් 40% ත් අතර ප්‍රමාණයකින් වැඩි වීමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි.
නමුත් මෙසේ විදුලි බිල වැඩි කිරීමට ඔවුන්ට කිසිදු අයිතියක් නැති බව සඳහන් කළ ඔහු කියා සිටියේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන පදේට නැටීමක් බවයි.
එසේම ආණ්ඩුව කළින් ප්‍රකාශ කළ පරිදී පහුගිය වසරේ ඉතිරි වී තිබෙන බිලියන 41 පැවසූ ආකාරයටම මජහජනතාව උදෙසා කැප කරන ලෙස ඉල්ලීය.
එවිට විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය නොවන බව ද පැවසූ ඔහු වැඩි දුරටත් සඳහන් කළේ
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා පසුගිය දා අවම පිරිවැය යටතේ මේ මිල සංශෝධනය කරන්න කියලා. නමුත් ඊට පෙර ඔවුන් විදුලි බල මණ්ඩලයට දැන්වූවා 40% න් විදුලි බිල වැඩි කරන්න කියලා. මේ රටේ විදුලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනවශ්‍ය ඇඟිලි ගැසීමක් සිදු කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බිලියන 344 තෙවන වාරිකය ලබා ගැනීමට තමයි ආණ්ඩුව මෙය සිදු කරන්නේ. ඔවුන් කියන කියන පදේට ආණ්ඩුව නටනවා. දැන් මෙයාලා කියනවා මේ මාස තුනේ බිලියන 18 ක් පාඩුයි කියල. ආණ්ඩුව කළින් කිව්වා ගිය අවුරුද්දේ බිලියන 150 න් බිලියන 41 ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ 41 ඉතුරු වෙලා තියෙන්නේ විදුලි බිල වැඩි වුණාම මහජනතාව වෙනුවෙන් ඒක කැපකරන්න කියලා. දැන් බිලියන 18 යි ගිහින් තියෙන්නේ. තව බිලියන 23 ක් තියෙනවා. ආණ්ඩුවෙන් අපි අහන්නේ මේ සල්ලි බහිරවයා ගිල්ලද කියලා. ඒ නිසා මේ මාස හයේ විදුලි බිල වැඩි කරන්න ඕනෙ නැහැ. මේ බිලියන 41 න් මේක හිලව් කරන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන පදේට නටන්න එපා. " යන්නයි.
එසේම නිවැරදි දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දෙන ලෙස පැවසූ සභාපතිවරයා මහජන උපයෝගිතා කොමිසමේ කාර්යය විදුලි බල මණ්ඩලය භාර ගැනීමෙන් වළකින ලෙස ද දැන්වීය.
මෙහි දී වැඩිදුරටත් ඔහු සඳහන් කළේ විදුලි බල මණ්ඩලයේ සභාපති කෙටි නිවාඩුවකට හෝ දීර්ඝ නිවාඩුවකට හෝ යාම පිළිබඳ ගැටලුවක් ඇති බවයි.
ඒ හේතුවෙන් මේ වන විට විදුලි බල මණ්ඩලයේ ලේකම්වරයා සභාපතිවරයා වී ඇති බව ද ඔහු පැවසුවා.
