සල්ලි නැතත් ඉක්මනින් නිවසක් හදාගෙන ගොඩයන විදිය මෙන්න..

Astrology
By Aruna Nov 27, 2022 06:36 AM GMT
Aruna

Aruna

Report

තමන්ගේම කියා නිවසක් සාදා ගැනීම සියලු දෙනාගේම ජීවිතයේ ප්‍රධාන බලාපොරොත්තුවක්.

එහෙත් එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකි අය අපේ සමාජයේ කොතරම් සිටීද? එයට බලපාන හේතු අතර එක් හේතුවක් ලෙස නිවස ඉදිකිරීම ආරම්භ කිරීමේ නැකත දැක්විය හැකිය.

ඉතාම බලවත් නිවාස නැකැතක මුදල් නැතත් නිවස සැදීමේ බලයක් ඇත. එහෙත් එබඳු නැකතක් කලබලයට, හදිසියට, දින 2-3 න් ගත නොහැකිය.

ඒ සඳහා බොහෝ විට සැළකිය යුතු කාලයක් ඉවසා සිටීමට සිදුවේ.

එබඳු බලවත් නැකතක් සැදීමේ සංකීර්ණතාව ඔබ හඳුනාගත් විට එබඳු නැකතක් ලබා ගැනීමට ඔබේ ජ්‍යොතීර්වේදීයාගේ සහාය ලබා ගැනීම ඔබට වඩාත් පහසු වේ.

නිවාස නැකැතක් සෑදීමේදී ප්‍රථමයෙන් නිවැසියන් සියලු දෙනාගේම ජන්ම පත්‍ර ජ්‍යෝතිර්වේදියා වෙත ලබා දිය යුතුය.

තමාගේම කියා නිවසක් සාදා ගැනීමේ වාසනාව ඇත්තේ ජන්ම පත්‍රයේ 4 වැන්නත් 4 වැන්න හා 9 වැන්න අධිපතියාත් බලවත් අයට පමණි.

එම නිසා එබඳු අයකුගේ ජන්ම පත්‍රයක් නිවස ඉදිකිරීමේ නැකැත්වලදී ප්‍රමුඛ කර ගත යුතුය. නැකැත් සාදන ජ්‍යොතිර්වේදියාගේ ජන්ම පත්‍රයේ 4 වැන්න බලවත් වීමද නිවස ඉක්මනින් ඉදිකර ගැනීමට බලපාන හේතුවකි.

නිවාස නැකැත්වලදී එය ජන්මියාගේ උපන් නැකතට සම්පත් නම් නිවස සෑදුණු විට ධන ලාභ හිමි වේ. විපත් නැකැතක් නම් මහ දුක් විපත් ඇති වේ.

ක්ෂේම නැකතක් නම් සතුට සැනසීම උදාවේ. ප්‍රත්‍යාරි නැකතක් නම් සතුරු පීඩා භංග වෙයි. සාධක නැකතක් නම් දියුණුවද, වද නැකතක් නම් හිංසා පීඩා ද, මෛත්‍රී නැකතක් නම් මිත්‍ර උපකාරද, ලැබෙන අතර පරම මෛත්‍රී නැකතක් වීම ඉතාම සුබයි.

නැකැතක් සෑදීමේදී එය උපන් නැකතට මෙන්ම එම කාලයේ පවත්නා මහ දසාව, අන්තර් දශාව අධිපති ග්‍රහයන් අයත් නැකත්වලට ද සුබ විය යුතුය.

කෝණ මාසවලදී කිසිම නිවාස නැකතක් නොගත යුතුය. ජුනි 15 ජූලි 15 අතර කාලය, සැප්තැම්බර් 15 ඔක්තෝබර් 15 අතර කාලය, දෙසැම්බර් 15 ජනවාරි 15 අතර කාලය, මාර්තු 15 අප්‍රේල් 15 අතර කාලය කෝණ මාස වේ.

නිවසේ ගෙපල කැපීම, නූල් ගැසීම, අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම බිත්ති බැඳීම, උලුවහු තැබීම, වහලයට ලී තැබීම, ලිප ගිනි දැල්වීම ආදී සියල්ලම සුබ නැකැත්වලට සිදු කළ යුතු අතර මුල් ගල තැබීම මෙහිදී ඉතාම වැදගත් වේ.

කේන්ද්‍ර හිමියා සහ නිවැසියන්ට මෙන්ම ගෘහයේ නැකැතට ද මෙම නැකැත සුබ විය යුතුය. වෙසක්, ඇසළ, නිකිණි, ඉල්, මැදින් යන මාස නිවාස සෑදීමට සුබ ය. බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දින සුබ වේ.

සඳුදා දිනයේ මධ්‍යමය. 2, 3, 5, 7, 10, 11, 12, 13 තිථි සුබවේ. සෑම නිවාස කටයුත්තක්ම ආරම්භ කළ යුත්තේ පුර පක්ෂයේය.

නිවාස නැකැත සඳහා පාපයින් සහිත කටක, වෘශ්චික, මකර ලග්න උදාව පැවතුණහොත් නිවස කඩින් කඩ සෑදීමට සිදුවෙයි.

පාපයන් සහිතව තුලා, ධනු ලග්න පැවතුණහොත් නිවස සාදා නිම කිරීමට නොහැකි වේ. නිවාස කටයුතුවලට තුලා ලග්නය ඉතා අසුබ වුවත් ලග්නයේ සුබ ග්‍රහයන් බලවත් නම් සුබ වේ.

පාපයින් සහිත මිථුන, කන්‍යා, තුලා, මකර ලග්නයක් වුවහොත් නිවස කඩා වැටිය හැක. සුබ ග්‍රහයන් බලවත්ව වෘෂභ, සිංහ, කුම්භ ලග්නයක් වී නම් නිවස සිරියාවෙන් බැබළෙයි. ධන ලාභ ලැබෙය.

වෘෂභ හෝ කටක ලග්නය පුර සඳු බලවත් නම් කටයුතු සපල කර දෙයි. එමෙන්ම ජන්ම පත්‍රයේ 4 වැන්න තත්කාල ලග්නය ලෙස යොදාගත හැකි නම් එය ඉතා ප්‍රශස්ත ය.

යොදාගනු ලබන තත්කාල කේන්ද්‍රයේ 4 වැන්නාධිපති 6, 8 12 රාශියක සිටීම ද, ලග්නාධිපති අසුබ රාශියක සිටීම ද, 4 වැන්නේ පාපීන් සිටීම ද සුදුසු නැත.

නිවාස නැකැත් යොදා ගන්නා දිනය අනිවාර්යෙන්ම පංචාංග ශුද්ධ සුබ දිනයක් විය යුතුය.

නිවාස ඉදිකිරීමට සප්තාකාර යෝගය ඉතා සුබ වේ. සප්තාකාර යෝගය යනු නිකිණි මාසයේ පුර සතවක දිනයක් වූ ශනිදාවක සා නැකැත සමඟ සිංහ ලග්නය උදාව පවතින කාලයයි.

එවන් යෝගයකින් වැඩ ආරම්භ කළ නිවසක වාසය කරන්නන්ට ධන සම්පත්, යාන වාහන, ගව මහීෂාදීන් සම්පත් ද දරු මුණුබුරන්ද සමාජයේ උසස් තත්ත්වයක් ද හිමිවේ.

නිවසක් ඉදිකිරීමේදී ගුරු ග්‍රහයාගේ පිහිටීම ඉතා වැදගත් බව වශිෂ්ට හා නාරද ඍෂිවරුන්ගේ මතයයි.

පූෂ, මුවසිරස, අස්ලිස, රෙහෙණ, සුවණ, උත්‍රපල්, උත්‍රසල උත්‍රපුටුප නැකතක ගුරු සිටියදී ගුරු දිනයක ගුරු හෝරාවෙන් නිවස ඉදි කළ හොත් එහි නිවැසියන්ට උසස් බව රජයේ තනතුරු ආදිය හිමිවේ.

සිකුරු ග්‍රහයා අස්විද, දෙනට, සියාවස, විසා, සිත, අද නැකතක සිටියදී සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් වැඩ ඇරඹීම ද, බුධ ග්‍රහයා අස්විද, රෙහෙණ, හත, සිත, පුවපල් නැකතක සිටියදී බුධ සිටි රාශිය ලග්නය ලෙස ගෙන බුධ දිනයක බුධ හෝරාවෙන් වැඩ ඇරඹීම ද ඉතා සුබය.

පොදුවේ අස්විද, රෙහෙණ, මුවසිරස, හත, සිත, සා සියාවස, පුෂ, මා, මුල, අනුර, සුවණ, දෙට, දෙනට, උත්‍රපල්, උත්‍රසල උත්‍රපුටුප රේවතී යන නැකත් නිවාස කටයුතු සඳහා සුබය.

නිවසක් ඉදිකිරීමට යොදා ගන්නා සුබ මුහුර්ත අවස්ථාවේ පවතින තත්කාල කේන්ද්‍රය ඉතා වැදගත්ය.

එහි 1, 4, 7, 8, 10, යන භාවවල පාප ග්‍රහයින් නොසිටිය යුතු අතර පාප ග්‍රහයින් 3, 6, 11 භාවවල සිටිය යුතුය.

8 වැන්නේ කිසිම ග්‍රහයකු සිටීම ද, 8 වැන්නට පාප ග්‍රහයකුගේ සප්තම දෘෂ්ටි වැටීම ද අසුබය එක හතර හත 1, 4 ,7, 9, 10 භාවයක ගුරු, සිකුරු සිටිය යුතුය.

විශේෂයෙන් මුල්ගල තැබීමේ නැකතේදී කුජ, රාහු 8 වැන්නට සුබ නැත. තත්කාල ලග්නයට ගෘහ මූලිකයාගේ 08 වැනි ලග්නයද යොදා නොගත යුතුය.

4 වැන්නාධිපතියා 06 සිටීම සුබ නැති අතර, මුල්ගල තබන මොහොතට 10 වැන්නාධිපති 12 වන වැයස්ථානයේ සිටීම ද සුබ නැත. තත්කාල ලග්නයේ සඳු බලවත්ව සිටිය යුතුය.

පාප පීඩිත නොවූ පුර සඳු ඕනෑම නැකතදී අර්ථ සිද්ධිය ගෙන දෙයි. තත්කාල කේන්ද්‍රය කේන්ද්‍රස්ථානාධිපති හා ත්‍රිකෝණස්ථානාධිපති බලවත්ව සිටිය යුතු අතර 4 වැන්න හෝ 4 වැන්නාධිපතියා පාපකර්තරී නොවිය යුතුය.

එසේම ලග්නාධිපති හෝ 4 අධිපති දුෂ්ඨ රාශිගත නොවිය යුතුය.

ගුරු බලවත්ව 1, 5, 9 තැනක සිටීමෙන්ද සිකුරු ලග්නගත වීමෙන් ද දෙර්කාණ කේන්ද්‍රයේ ග්‍රහයන් බලවත් වීමෙන් ද බොහෝ දෝෂ භංග වේ.

9 වැන්නාධිපති හෝ 11 වැන්නාධිපති 4 වැන්නේ සිටීමද රවි 11 වැන්නේ සිටීම ද සුබදායක වේ.

ලග්නයේ සිකුරු ද 5 වැන්නේ ගුරු ද, 6 වැන්නේ කුජද 3 වැන්නේ රවි ද සිටියදී සෑදු නිවස වර්ෂ 200ක් පවතී.

එමෙන්ම, ලග්නයේ බුධ ද 7 වැන්නේ ගුරු ද 10 වැන්නේ සඳුද සිටීම ලග්නයේ සිකුරුද 10 වැන්නේ බුධද 11 වැන්නේ රවි ද කේන්ද්‍රස්ථානයක ගුරු ද සිටීම ලග්නයේ ගුරු ද, 3 වැන්නේ ශනිද 4 වැන්නේ සිකුරුද 6 වැන්නේ රවිද 7 වැන්නේ බුධද සිටීම.

ලග්නයේ සඳු ද 7 වැන්නේ ගුරු ද 10 වැන්නේ බුධ ද සිටීම. මීන ලග්නයේ සිකුරුද, 5 වැන්නේ ගුරු ද 11 වැන්නේ ශනි ද සිටීම 1, 4, 7, 10 යන භාවයක ගුරුද 10 වැන්නේ බුධ හා සිකුරු ද 11 වැන්නේ රවිද සිටීම ස්ථිර රාශියක් වූ ලග්නයේ රවි හා බුධද 4 වැන්නේ හෝ 7 වැන්නේ ගුරුද 11 වැන්නේ සිකුරු ද සිටීම ස්ථිර රාශියක් වූ ලග්නයේ ගුරු ද 6 වැන්නේ රවි ද 7 වැන්නේ බුද 10 වැන්නේ සඳුද සිටීම ගුරු 1, 4, 7, 10 යන භාවයක ද කටක ලග්නයේ සඳුද සිටීම ගුරු 4 වැන්නේ ද සඳු 10 වැන්නේ ද ශනි හා කුජ 11 වැන්නේ ද සිටීම ලග්නයේ සඳුද 7 වැන්නේ ගුරුද 10 වැන්නේ බුධද සිටීම 7 වැන්නේ ගුරු, 19 වැන්නේ සිකුරු ද 11වැන්නේ රවි හා බුධ සිටීම.

තත්කාල කේන්ද්‍රයේ ලග්නයේ හෝ 7 හෝ 10 වැන්නේ ග්‍රහයකු නීචව හෝ සතුරුව සිටීම ද අව පක්ෂයේ චන්ද්‍රයා දුර්වලව ලග්නයේ සිටීම ද, 10 වැන්න අධිපතියා දුර්වලව සිටීම ද රවි සඳු ග්‍රහයින් දුර්වල සිටීම ද, ගුරු සිකුරු අස්තව සිටීම ද නිවාස නැකත් වලදී අසුභය.

සුබ ග්‍රහයින් ලග්නයේ නැති කටක, වෘශ්චික, මකර රාශි ලග්නය ලෙස නොගත යුතුය.

කේන්ද්‍ර හිමියන්ගේ 22 දෙර්කාණාධිපති ග්‍රහයාට අයත් නැකැත්, හෝරා ද නොගත යුතුය.

පංචම හෝරාව 22 දෙර්කාණාධිපතියාගේ හෝ 6, 8, 12 අධිපතියන්ගේ වීම ද සුබ නැත. තමාගේ පදිංචිය පිණිස නම් ලග්නය ලෙස ගත යුත්තේ තිර රාශියකි.

කුලියට දීමට නම් උභය හෝ චර රාශියක්ගත යුතුයි. මේ අනුව නිවසක් ඉදිකිරීමට සුදුසු කාලය බොහෝ කල් වේලා ඇතිව සොයාගත යුතු එකක් බව පැහැදිලි වේ.

එසේ නම් ඔබ කළ යුත්තේ නිවසක් සෑදීමේ අදහස මතුවූ විගස ඔබේ ජ්‍යොතීර්වේදියා හමුවී ඔබේ අවශ්‍යතාවය පැවසීමයි.

එවිට සෑම අතින්ම යහපත් නිවසක් සාදා ගැනීමට අවශ්‍ය උපදෙස් මෙන්ම ප්‍රශස්ත නැකැතක් ද ඔබට ලබාගත හැකිවනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now