සියළුම ජනතාවට විශේෂ දැනුම්දීමක් - ඩෙංගු මදුරුවන් බෝ වන තැන් ගැන කියන්න දුරකතන අංකයක්

Report

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් ජනතාවගෙන් තොරතුරු ලබාගැනීම සඳහා 011 796 6366 විශේෂ දුරකතන අංකය හඳුන්වා දී ඇති බව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා පවසයි. තම ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගතහොත් එම අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ඩෙංගු වසංගතය පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන්, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් අද (05) ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන් සහ ඉදිරි සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අතර, ජාතික සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ නිලධාරීහු ද ඒ සඳහා එක්ව සිටියහ. මේ අතර, බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද (05) සිට ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය ආයතන එක්වෙයි - අද සිට ප්‍රදේශ 22 ක් ආවරණය වන විශේෂ වැඩසටහනක්

සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය ආයතන එක්වෙයි - අද සිට ප්‍රදේශ 22 ක් ආවරණය වන විශේෂ වැඩසටහනක්

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළත්, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මීගමුව සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර ප්‍රදේශවලත් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතා සහයෝගය ලබාදෙන ලෙස ද බලධාරීහු ඉල්ලා සිටිති. 

වීඩියෝ දර්ශන උපුටා ගන්නා ලදි