අස්ථානගත වූ යටියන්තොට Traffic OICගේ රාජකාරී ගිනි අවිය සොයාගනී
යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබියදී අතුරුදන් වූ නිල රාජකාරි ගිනිඅවිය කැලණි ගඟේ ගිලී තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
තමන්ට පවරා තිබූ මෙම පිස්තෝලය සහ පතොරම් අස්ථානගත කරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගැනුණි.
සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ විමර්ශනවලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
පොලිස් වාර්තාවලට අනුව, පසුගිය 26 වැනිදා මෙම නිලධාරියා දෛනික රාජකාරී කටයුත්තක් සඳහා පිටත්ව යාමේදී පොලිස් අවි ගබඩාවෙන් පිස්තෝල ගිනිඅවියක් සහ ඊට යොදන උණ්ඩ 10ක් නිල වශයෙන් ලබාගෙන ඇත.
කෙසේ වෙතත්, රාජකාරිය නිමවා පැමිණීමෙන් පසුව ද අදාළ ගිනිඅවිය සහ පතොරම් තොගය ඔහු විසින් නැවත පොලිස් භාරයට දී නොමැති බව විමර්ශන කටයුතුවලදී අනාවරණය විය.
අතුරුදන් වූ අවිය සෙවීම සඳහා දියත් කළ විශේෂ මෙහෙයුමකදී එය කැලණි ගඟ පතුලේ තිබී ආරක්ෂක අංශ විසින් ගොඩගත් අතර, සිද්ධියට අදාළ ඉදිරි නෛතික හා විනය ක්‍රියාමාර්ග සීතාවකපුර අපරාධ විමර්ශන අංශය මඟින් තවදුරටත් ක්‍රියාත්මකය.