වැඩි මිලට වතුර විකුණුවොත් දඩ
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ දහයක දැවැන්ත දඩයක් නියම කර ඇත.
මෙලෙස දඩ නියම වී ඇත්තේ හපුතලේ, වැලිමඩ පාරේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් හෝටලයකටයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී, අදාළ හෝටලය විසින් නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතලයක් පාරිභෝගිකයෙකුට අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව අදාළ හෝටල් පාලනාධිකාරියට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටයි කටයුතු කර ඇත.
ඊයේ (24) අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා, වරදකරු වූ හෝටලයට රුපියල් මිලියනයක හෙවත් ලක්ෂ දහයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කරනු ලැබුවේය.