උතුරු මැද පළාතේ රෝහල් වලට රජය කරන්න යනදේ
උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල රෝහල්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශික්ෂණ රෝහල ඇතුළු තඹුත්තේගම, කැඹිතිගොල්ලෑව, කහටගස්දිගිලිය, කැකිරාව, මැචවච්චිය සහ පදවිය මුලික රෝහල්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශික්ෂණ රෝහල, ජාතික වෘක්කවේද විශේෂිත රෝහල, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ වැලිකන්ද මුලික රෝහල්වලත් වත්මන් ක්‍රියාකාරිත්වය, ක්‍රියාත්මක හා අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති, යෝජිත නව ව්‍යාපෘති සහ ඖෂධ ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳව රෝහල් පාලනාධිකාරීන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම්දුන්හ.
විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු මානව සම්පත් අවශ්‍යතා, භෞතික සම්පත්, උපකරණ නඩත්තු ගැටලු, රසායනාගාර සේවා ශක්තිමත් කිරීම ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡාවට ලක්විය. රජයේ නව වැඩපිළිවෙළ යටතේ රෝහල් ඩිජිටල්කරණය කිරීමේ වත්මන් තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද යෝජනා හුවමාරු විය.
නියෝජ්‍ය අමාත්‍ය හංසක විඡේමුණි මහතා අවධාරණය කළේ, රෝහල් සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ගැටලුවකින් තොරව ලබාදෙන බවත්, මානව සම්පත් ශක්තිමත් කිරීමට සැලසුම්ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත්ය. රෝහල් සංවර්ධනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සැලසුම් යටතේ විධිමත්ව සිදුකිරීමටත්, අවිධිමත් ක්‍රමවේද ඉවත් කිරීමටත් පියවර ගන්නා බවද ඔහු පැවසීය.
මෙමගින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවා ලබාදීමටත්, රෝහල් මානසික සුවතාවයකින් යුත් ආකර්ෂණීය ස්ථාන බවට පත්කිරීමටත් හැකිවනු ඇති බවද අවධාරණය විය. රෝහල් ඩිජිටල්කරණයේ ඉදිරි සැලසුම් පිළිබඳව අනුරාධපුර සහ පොළොන්නරුව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමටද මෙහිදී පියවර ගෙන තිබේ.