කෝටි 53 හෙරෝයින් සිද්ධියට තවත් පොලිස් නිලධාරියෙක් සම්බන්දයි
රුපියල් කෝටි 53ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ කළුතර දකුණ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තුන්දෙනා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පොලිස් නිලධාරියා මීට පෙර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සමඟ සිටි අයෙකු බවටයි වාර්තා වන්නේ. එම පොලිස් නිලධාරියාද කළුතර දකුණ පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙක්. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැමිණෙන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කර තිබෙනවා.
එහිදී ඔහුගේ මුදල් පසුම්බියෙහි සඟවා තිබූ හෙරොයින් සුළු ප්‍රමාණයක් හමුවීම හේතුවෙනුයි එම පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම පිවිසුම අසළදී පසුගිය 18 වනදා අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක සහ අනෙක් දෙදෙනා සන්තකයේ තිබී සොයාගත් මත්කුඩු තොගයේ බර කිලෝග්‍රෑම් 52 යි ග්‍රෑම් 728 ක්. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තුන්දෙනා ලබන 08 වනදා දක්වා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මේ අතර, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක වලදමා තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ ඊට භාවිත කරන උණ්ඩ 13ක් සොයාගෙන තිබේ.
සුපුන් බුද්ධික නොහොත් වලස්ගල සුපුන් නැමැත්තාගේ ඉඩමට ආසන්න ඉඩමක වලදමා තිබියදී ඒවා සොයාගෙන ඇත. වලස්ගල සුපුන් නැමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහු 2018 වසරේ කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව සිව්පුද්ගල ඝාතන සිදුකළ සැකකරු බවට වාර්තා වෙන බව පොලීසිය පවසයි.
මෙම සොයාගත් ගිනිඅවිය එම ඝාතන සිද්ධිය සඳහා යොදා ගැනීමෙන් අනතුරුව සඟවා තබා ඇති බවට වාර්තා වෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ අතර මාලබේ ප්‍රදේශයේ දී ද පිස්තෝලයක් සහ උණ්ඩ 7ක් සමග ඊයේ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
