ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්
අද දින සවස 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 36 තුළද තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, එය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.
උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්