විශ්වවිද්‍යාල තුළ නවක වදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීරණයක්.
විශ්වවිද්‍යාල තුළ සිදු වන නවක වද සිද්ධි සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව රජයේ විශ්වවිද්‍යාලවල පසුගිය වසර තුනක කාලය තුළ වාර්තා වූ නවක වද සිද්ධි සහ ඊට අදාළව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ඉදිරිපත් කරන ලෙස විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට නියම කරනු ලැබුවා.
මෙම නියෝග ලබා දී ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ 2020දී සිදු වූ නවක වද සිද්ධියකදී විශාල බැකෝ ටයරයක් පෙරළීමෙන් එහි පළමු වසරේ සිසුවකුව සිටි පසිඳු හර්ෂණ සිල්වා බරපතළ ලෙස රෝගී වීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි.
බුවනෙක අලුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
විශ්වවිද්‍යාලවල සිදුවන නවක වද සිද්ධි නිසා අහිතකර ප්‍රතිඵල රැසක් ඇතිවීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය එහිදී යොමු වී ඇති අතර "නවක වදය" විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලටද අහිතකර ලෙස බලපෑම් ඇති කිරීම සහ පසුගිය කාලයේ සිදු වූ නවක වද සිද්ධි සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව කරුණු සොයා බැලීම සම්බන්ධයෙන් ද විනිසුරු මඬුල්ලේ අවධානය යොමු වුණා.
එමෙන්ම එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පවතින රජෙය් විශ්වවිද්‍යාල 16ක උපකුලපතිවරු සහ පොලිස්පතිවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙස විනිසුරු මඬුල්ල නියෝග කරනු ලැබුවා.
මේ අතර නවක වද සිද්ධීන් වැළැක්වීමට අදාළව රෙගුලාසි මාලාවක් නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා උසස් අධ්‍යාපන ඇමැතිවරයා අත්‍යවශ්‍ය පාර්ශ්වයක් වන බැවින් එම ඇමැතිවරයා ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කරන ලෙස ද නියම කර තිබෙනවා.
වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා පෙත්සම අගෝස්තු මස 29 වනදා කැඳවීමට නියමිතයි.
2020 වසරේ මාර්තු මස 05 ඇති වූ නවක වද සිද්ධියකදී ටයරයක් පෙරළීම නිසා තම හිසට සහ මොළයට බරපතළ තුවාල සිදු වූ බව පවසමින් පසිඳු හර්ෂණ සිල්වා මෙම පෙත්සම ගොනු කර තිබූ අතර මෙම සිද්ධිය නිසා මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූවද මේ වන තෙක්ම තමන්ට මේ පූර්ණ සුවය ලැබී නොමැති බවත් පෙත්සම්කාර ශිෂ්‍යයා පෙත්සමෙහි සඳහන් කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වෙනවා.