රාජ්‍ය නිලධාරීන් පිරිසකට සුබ ආරංචියක්..

Sri Lanka An allowance gramaniladari
By Aruna Sep 17, 2021 08:04 AM GMT
Aruna

Aruna

Report

ග්‍රාම නිලධාරීන්ට අමතර දීමනාවක් තම වසමට අමතරව වෙනත් වසමක රාජකාරි ආවරණය කරන ග්‍රාම නිලධාරීන්ට අමතර දීමනාවක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

මෙලෙස අවධානය යොමු කර ඇත්තේ, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට කරන ලද ලිඛිත ඉල්ලීම් සලකා බලාය.

ඒ අනුව මීට අදාළ කටයුතු කඩිනමින් සකස් කරමින් සිටින බවත් ඊට මුදල් ප්‍රතිපාදන ලැබුණු සැණින් අදාළ ග්‍රාම නිලධාරීන්ට එම දීමනාව ලබා දෙන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද ‘අරුණ’ ට පැවැසීය.

මෙරට සමස්ත ග්‍රාම නිලධාරීන් 14,022 දෙදෙනෙකු සක්‍රිය සේවයේ නියුතු විය යුතු වුවද, මේ වනවිට සේවයේ නියැලෙන්නේ 10,922 දෙදෙනෙකු පමණක් බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි සඳහන් කරයි.

2018 වසරේ සිට ග්‍රාම නිලධාරීන් දෙදෙහසක පුරප්පාඩු පවතින අතර ඒ සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට පසුගිය මැයි මස ගැසට් නිවේදනයක් නිකුත් කර අයදුම්පත් පමණක් කැඳවා තිබේ.

ඊට අමතරව කොවිඩ් ආසාදිතව නිලධාරීන් 500 දෙනෙකු සේවයෙන් නිවාඩු ලබා ගෙන ඇති අතර ප්‍රසූත නිවාඩු සඳහා දිවයින පුරා ග්‍රාම නිලධාරිනියන් 600 දෙනෙකු ද සේවයෙන් තාවකාලිකව ඉවත් වී තිබේ.

මෙම තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවල එක් ග්‍රාම නිලධාරියෙකුට තම වසමට අමතරව තවත් වසම් කිහිපයක රාජකාරියේ නියුතුවීමට සිදුවීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් බවද සභාපතිවරයා අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha