රඹුටන් ගසකින් ඇද වැටුණු දැරියක් එම ගසේම දෙබලක ගෙල සිරවී මියයයි

Balangoda mamalgaha
By Sithumi Jun 11, 2021 01:42 PM GMT
Report

රඹුටන් ගසකින් ඇද වැටී එම ගසේම දෙබලයකට ගෙල සිරවී දස හැවිරිදි දැරියක් මියගිය අවාසනාවන්ත සිදුවීමක් බලංගොඩ මාමල්ගහ ප්‍රදේශයෙන් වාර්තාවනවා. අද මෙම අනතුරට ලක්වී ඇත්තේ පාසලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මාමල්ගහ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

ඇයගේ පියා වෙනත් ප්‍රදේශයක රැකියාවක නිරතවන අතර බාල සහෝදරයා මව සහ මිත්තණිය සමගින් ඇය නිවසේ ජීවත්ව සිට තිබෙනවා. අද පෙරවරුවේ මෙම දැරිය සහ බාල සොහොයුරා නිවසේ රූපවාහිණිය නරඹමින් සිට ඇති අතර මව ජල මෝටරයක් සැකසීම සඳහා නිවසින් පිටත්ව ගොස් සිට ඇතැයි සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ දැරියගේ මිත්තණිය තේ පානය සඳහා කෑම රැගෙන ඒමට අසල තිබූ වෙළඳසැලක් වෙත ගොස් සිට තිබෙනවා. මව වතුර මෝටරය සකසා යළි නිවසට පැමිණ දැරිය පිළිබඳ විමසීමේදී සොහොයුරා ප්‍රකාශකර ඇත්තේ ඇය ගෙවත්තට ගිය බවයි. පසුව මව කළ සොයා බැලීමක දී මෙම කුඩා දැරිය රඹුටන් ගසක අඩි 20ක් පමණ ඉහළින් ඇති දෙබලක ගෙල සිරවී සිටින ආකාරය දැක තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන්ගේ ද සහයෙන් ඇය බලංගොඩ මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විට ද දැරිය මියගොස් සිටි බව සඳහන්. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now