ඉදිරි පැය 36 තුළ දිවයිනටම මහ වැසි - පළාත් කිහිපයකට මිලිමීටර් 100 පස්සන තද වැසි- කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්!
අද රාත්රියේ දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාව පවතී.
හෙට දිනයේදී දිවයිනේ බොහෝ ප්රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව අනාවැකියේ සඳහන් වේ.
මන්නාරම සහ යාපනය දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවලට උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාව ද පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව ද වැඩිදුරටත් සඳහන් වේ.