මුහුදේ පාවෙන අයිෆෝන් සහ මිල අධික සුවඳ විලවුන් - හෝමූස් සමුද්ර සන්ධියේ අමුතු දසුනක් [VIDEO]
හෝමූස් සමුද්ර සන්ධියේ මුහුදු මතුපිට පාවෙන අයිෆෝන් දුරකථන පෙට්ටි සහ මිල අධික සුවඳ විලවුන් බෝතල් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ අවධානයට ලක්ව තිබේ. මෙම දර්ශන මතු වී ඇත්තේ භාණ්ඩ ප්රවාහන නෞකාවක් මුහුදුබත් වීමත් සමඟයි.
ඉරානයේ ප්රකාශයකට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්යයට අයත් භාණ්ඩ ප්රවාහන නෞකාවක් නාවික බෝම්බයක ගැටීමෙන් මුහුදුබත් වී තිබේ.
කෙසේ වෙතත්, නෞකාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් නාවික බලධාරීන් සඳහන් කර ඇත්තේ එය හඳුනා නොගත් ප්රක්ෂේපණයක ප්රහාරයකට ලක්ව ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ බවයි.
මුහුදේ පාවෙන අයිෆෝන් සහ සුවඳ විලවුන්
ඉන්දියා ටුඩේ වාර්තා කරන පරිදි, සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ මුහුදේ පාවෙන අයිෆෝන් පෙට්ටි සහ සුවඳ විලවුන් බෝතල් ඇසුරුම් දැකගත හැකියි.
කුඩා බෝට්ටුවල සිටින පුද්ගලයන් මුහුදේ පාවෙන භාණ්ඩ එකතු කරන ආකාරයද එහි දැක්වෙන බව වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, එම වීඩියෝව ස්වාධීනව තහවුරු කර ගැනීමට නොහැකි වූ බව ඉන්දියා ටුඩේ මාධ්ය ආයතනය අවධාරණය කර තිබේ.
වාර්තාවලට අනුව, සිංගප්පූරු ධජය යටතේ යාත්රා කළ GFS Pride නමැති බහාලුම් නෞකාව ඩුබායි සිට මෙම භාණ්ඩ ප්රවාහනය කරමින් සිටි බවට මූලික තොරතුරු පළ වී ඇත.
එම නෞකාවේ බහාලුම් 2,500කට ආසන්න සංඛ්යාවක් තිබූ බව ද The Sun පුවත්පත උපුටා දක්වමින් වාර්තා කර තිබේ.
කාර්ය මණ්ඩලයේ සියලුදෙනා ආරක්ෂිතයි
නෞකාවට හානි සිදුවී ගින්නක් හටගැනීමෙන් පසු එය බදාදා මුහුදුබත් වූ බව නාවික බලධාරීන් පවසා ඇත.
එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 21 දෙනාම ආරක්ෂිතව ඉවත් කරගෙන ඇති අතර, කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බව සිංගප්පූරු සමුද්රීය හා වරාය අධිකාරිය සඳහන් කර තිබේ.
නෞකාව මුහුදුබත් වීමට හේතුව සම්බන්ධයෙන් ඉරානය සහ නාවික බලධාරීන් ඉදිරිපත් කරන තොරතුරු අතර වෙනසක් පවතී.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා ඇත්තේ අවසර නොලත් මාර්ගයක ගමන් කරමින් සිටියදී නෞකාව නාවික බෝම්බයක ගැටුණු බවයි.
එහෙත් නාවික බලධාරීන් වාර්තා කර ඇත්තේ එය හඳුනා නොගත් ප්රක්ෂේපණයක ප්රහාරයකට ලක්වූ බවයි.
හෝමූස් සමුද්ර සන්ධියේ ප්රහාර උත්සන්න වෙයි
මෙම සිදුවීම වාර්තා වන්නේ හෝමූස් සමුද්ර සන්ධිය ආශ්රිතව වාණිජ නෞකාවලට එල්ල වන ප්රහාර ඉහළ යමින් පවතින පසුබිමකය.
පසුගිය දින 10 තුළ එම ප්රදේශයේ නෞකාවලට එල්ල වූ ප්රහාර වැඩි වී ඇති අතර, පැය 48ක කාලයක් තුළ ඩ්රෝන ප්රහාර ඇතුළු සිදුවීම් පහක්වත් වාර්තා වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය සඳහන් කර ඇත.
ලෝකයේ තෙල් සහ ද්රව ස්වාභාවික වායු සැපයුමෙන් සැලකිය යුතු කොටසක් ප්රවාහනය කෙරෙන මෙම සමුද්ර මාර්ගයේ ආරක්ෂාව පිළිබඳව ද මේ හේතුවෙන් අවධානය යොමුව තිබේ.
ඇමෙරිකාව ඉරාන වරායන්ට පනවා ඇති අවහිරතා සහ දැඩි සම්බාධකවලට ප්රතිචාර වශයෙන් ප්රහාර තීව්ර කරන බව ඉරානය පවසා ඇත.
මේ අතර, හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට එරෙහිව නව උපක්රම භාවිත කරන බව ඉරාන නිලධාරීන් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.