කැම්පස් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් නොමිලේ කණ්ණාඩි - පළමු අදියරේ ප්රතිලාභ රජරටට
ජනාධිපති අරමුදල මගින් ක්රියාත්මක කරනු ලබන වැඩසටහනක් යටතේ, රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනෙකුට නොමිලේ කණ්ණාඩි ලබාදීම හෙට (17) සිදු කිරීමට නියමිතය.
ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ, පසුගිය සැප්තැම්බර් 19 වැනිදා අක්ෂි පරීක්ෂාවන්ට ලක් වූ සිසුන් සඳහා මෙම කණ්ණාඩි රජරට විශ්වවිද්යාල පරිශ්රයේදී බෙදාදීමට නියමිත බවයි.
කණ්ණාඩි අවශ්ය සියලුම විශ්වවිද්යාල සිසුන්ට ඒවා නොමිලේ ලබාදීමේ අරමුණින් ක්රියාත්මක මෙම වැඩසටහන සඳහා එක්සත් රාජධානියේ ස්ට්රවුඩ් රොටරි සමාජය (Stroud Rotary Club) සහ විෂ් පදනම (Wish Foundation) සහාය ලබාදෙයි.
මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රජරට විශ්වවිද්යාලය තෝරාගෙන තිබූ අතර, එහි දෙවැනි අදියර පසුගිය ඔක්තෝබර් 10 වැනිදා රුහුණ විශ්වවිද්යාලයේදී පැවැත්විණි.
දිවයින පුරා විශ්වවිද්යාල සිසුන්ට අක්ෂි සෞඛ්ය සේවා ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල ක්රියාත්මක කරන වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම වැඩසටහන ක්රියාත්මක වේ.