කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට - අද දවසේ සිදුවූ වෙනස මෙන්න
සතියේ අවසන් ගනුදෙනු දිනය වූ අද (16) කොළඹ කොටස් වෙළෙඳපොළ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් අවසන් වී තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 213.90කින් ඉහළ ගොස් සියයට 1.07ක වර්ධනයක් වාර්තා කර ඇත.
අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,185.05ක් ලෙස සටහන් වූ අතර, වඩාත් සක්රීය සමාගම්වල කොටස් මිල ගණන් නිරූපණය කරන S&P SL20 දර්ශකය ද ඒකක 46.74කින් ඉහළ ගොස් ඒකක 5,745.76ක් ලෙස සටහන් විය.
එය සියයට 0.82ක වර්ධනයකි. අද වෙළෙඳපොළ වර්ධනයට ඩයලොග් ආසියාටා, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, ඩිස්ටිලරීස් සමාගම, හැටන් නැෂනල් බැංකුව සහ සොෆ්ට්ලොජික් කැපිටල් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම ධනාත්මක දායකත්වයක් ලබාදී තිබේ.
ඒ අනුව ඩයලොග් ආසියාටා කොටසක මිල සියයට 3.53කින් ඉහළ ගොස් රුපියල් 44ක් ලෙස ද, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් කොටසක මිල සියයට 3.63කින් ඉහළ ගොස් රුපියල් 121.25ක් ලෙස ද සටහන් විය.
ඩිස්ටිලරීස් සමාගමේ කොටසක මිල සියයට 2.95කින් ඉහළ ගොස් රුපියල් 52.30ක් වූ අතර, හැටන් නැෂනල් බැංකුවේ කොටසක මිල සියයට 0.80කින් ඉහළ ගොස් රුපියල් 378ක් ලෙස සටහන් විය. එමෙන්ම සොෆ්ට්ලොජික් කැපිටල් කොටසක මිල සියයට 15.38කින් ඉහළ ගොස් රුපියල් 9ක් ලෙස සටහන් වීම ද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, කාර්සන් කම්බර්බැච්, LOLC ෆිනෑන්ස්, වැලිබල් වන් සහ සිලෝන් ටොබැකෝ සමාගම්වල කොටස් මිල ගණන් පහළ ගොස් තිබේ. අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.14ක් ලෙස වාර්තා විය.
එහිදී ද්රව්ය කර්මාන්ත අංශය රුපියල් මිලියන 273.33ක පිරිවැටුමක් වාර්තා කරමින් ඉදිරියෙන් සිටි අතර, බැංකු අංශයේ පිරිවැටුම රුපියල් මිලියන 236.3ක් විය.
මේ අතර, CIC හෝල්ඩිංග්ස්, සෙලාන් බැංකුව, ඩිස්ටිලරීස් සමාගම සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් යන සමාගම්වල කොටස් හරහා විශේෂ ගනුදෙනු සිදුවී ඇති බව NDB සෙකියුරිටීස් ආයතනයේ පර්යේෂණ සහකාර කළමනාකාරිනී දෙවංගි ද සිල්වා සඳහන් කර තිබේ.
එහි විශාලතම ගනුදෙනුව CIC හෝල්ඩිංග්ස් සමාගමට අදාළව සිදුව ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 46.5කි. තවද, පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුලංකා සමාගමට ෆීජි රාජ්යයේ ඇමරිකානු ඩොලර් මිලියන 1.35ක කුඩා ජල විදුලි බලාගාර ව්යාපෘතියක් සඳහා කොන්ත්රාත් ප්රදානයක් ලැබී තිබේ.
ෆීජි රාජ්යයේ බලශක්ති දෙපාර්තමේන්තුව විසින් ප්රදානය කර ඇති මෙම ව්යාපෘතිය යටතේ බුකා ගම්මානයේ කිලෝවොට් 100ක කුඩා ජල විදුලි බලාගාරයක් සැලසුම් කිරීම, උපකරණ සැපයීම, සවිකිරීම, පරීක්ෂා කිරීම සහ ක්රියාත්මක කිරීම ඇතුළත් වේ.
මෙම ව්යාපෘතියත් සමඟ පැසිෆික් දූපත් කලාපයට සිය ව්යාපාරික කටයුතු ව්යාප්ත කිරීමට විදුලංකා සමාගමට අවස්ථාව උදා වී තිබේ.