ගෑස් කමිටුවේ විමර්ශන අවසන් - අවසන් වාර්තාව ලැබෙන දිනය මෙන්න.

By Sewvandhi Dec 11, 2021 02:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෑස් අනතුරු පිළිබඳ ව සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුව ඊට අදාළ විමර්ශන කටයුතු සියල්ල මේ වනවිට අවසන් කර තිබෙනවා.කමිටු සභාපති ශාන්ත වල්පලගේ  කියා සිටියේ, එම තොරතුරු ඇතුළත් වාර්තාව මේ වන විට සකස් කරමින් පවතින බවයි.

ඒ අනුව ලබන සතිය තුළ අදාළ වාර්තාව නිකුත් කිරීමට හැකිවනු ඇති බව ඔහු ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල සභාපතිවරුන් මෙන්ම ඒවායේ ඉහළ නිලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශවයන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

කමිටු සභාපතිවරයා සඳහන් කළේ, ගෑස් සමාගම්, ගබඩා සංකීර්ණ, ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථාන සහ ගෑස් අලෙවි මධ්‍යස්ථාන ආශ්‍රිත ව මෙන්ම ගෑස් පිපිරීම් සිදු වූ ස්ථාන තුළ ද ස්ථානීය පරීක්ෂණ සිදු කළ බවයි.

එමෙන්ම ගෑස් සංයුතිය පිලිබඳව රසායනික පරීක්ෂණ මෙන්ම ඊට අදාළ භෞතික විද්‍යාත්මක සහ ගණිතමය පරීක්ෂණ කටයුතු ද විශේෂඥයින් විසින් සිදුකර තිබෙනවා.

ඒ අනුව ලබන සතියේ දී නිකුත් කෙරෙන වාර්තාව තුළින් ගෑස් අනතුරුවලට හේතු සහ ඒවා වළක්වා ගැනීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කෙරෙනු ඇති. මේ අතර ගෑස් අනතුරු පිළිබඳ සිදුවීම් ඊයේ දිනයේත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW