ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්..

Sri lanka special announcement Secretary of Defense Mr.Kamal Gunarathne
By krishani Apr 17, 2022 07:12 AM GMT
krishani

krishani

Report

සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත්තේ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිචාර දැක්වීමක් ලෙසය.

ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී දේශයේ ආරක්ෂාව වෙනුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලීසිය විසින් එවැනි සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලිසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය ලබාදෙනු ලබන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන අයවලුන් අතරට බුද්ධි අංශ සාමාජිකයන් යවා ඔවුන් මඟින් යම් කලකෝලහාල තත්ත්වයක් ඇතිකර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදුකර එය හුවාදක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදාගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිම සත්‍යතාවයක් නැති බවත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සාමකාමී අරගලයන්වලදී තම යටි අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කිරීමට වෙරදරන විවිධ කණ්ඩායම් පිළිබඳව පෙන්වා දෙමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, සාමකාමී විරෝධතාවලට මුවා වී රාජ්‍ය දේපළ හෝ පෞද්ගලික දේපළ විනාශ කරන්නන්ට සහ ඒ සඳහා නායකත්වය දෙන අයවලුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පොලීසිය විසින් ගන්නා බවය.

ආරක්‍ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එක්ව රටේ නීතිය, සාමය සහ ජනතාව ආරක්‍ෂා කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමටත් තම යුතුකම වගකීමෙන් යුතුව ඉටු කරන බව පවසමින් ගෞරවාන්විතව සහ අවංකව කටයුතු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගන්නා උත්සාහය පිළිබඳව ද මෙහිදී සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
Join