ගාල්ලේත් එන්නත් ටෝකන් ක්‍රමයට ?

By Wasantha May 29, 2021 04:45 AM GMT
Wasantha

Wasantha

Report

මොරටුව ප්‍රදේශයේ එන්නත් ලබාදීමේදී ටෝකන් ක්‍රමයට සිදු කළා මෙන් ගාල්ල ප්‍රදේශයේදී ද එන්නත් ලබාදීමේදී ටෝකන් නිකුත් කිරීමක් පිළිබඳ තොරතුරු වාර්තාවුණා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් එක් කර තිබුණා. ඒ අනුව එහි සඳහන් වූයේ කොවිඩ් එන්නත් ලබාදීමේ දෙවන දිනය වූ ඊයේ ග්‍රාම නිලධාරී වසම් අටක එන්නත් ලබාදීමේ කටයුතු සිදුවූ බවයි.

එසේම පෙරේදා දින ග්‍රාම සේවා වසම් 05 ක අටදහසකට ආසන්න පිරිසකට එන්නත් ලබාදීම සිදුකළ බවත්, ටෝකන් සහ ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී විධිමත් හා සාධාරණ අයුරින් එය සිදුකළ බවත් සම්පත් අතුකෝරාල මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා. එසේම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සම්බන්ධයෙන්ද සම්පත් අතුකෝරාල මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමට තවත් සටහනක් එක් කර තිබුණා.

කෙසේ වෙතත් ටෝකන්වල සඳහන් අංකවලට අනුව එන්නත් ලබාදෙන ලෙසට ප්‍රදේශයේ වෛද්‍යවරුන්ට බලපෑම් සිදුකළ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඊයේ (28) අත්අඩංගුවට ගැනුනු අතර, පසුව ඔහු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.