නොවැම්බර් 30 වෘත්තීය සමිති සටනට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයත් එක්වෙයි
ලබන 30 වැනිදා දිවයින පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඉන්ධන පිරවුම්හල් හිමියන් මේ වන විට මුහුණ දී සිටින ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම සහාය ලබාදෙන බව එම සංගමය සඳහන් කරයි.
2025 වසරේ සිට ඉන්ධන බෙදාහැරීමේ ආයතන දෙකක් විසින් බෙදුම්කරුවන්ට ලබාදෙන වට්ටම් ප්‍රතිශතය අසාධාරණ ලෙස අඩු කිරීම හේතුවෙන් ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම, වැට් බදු අය කිරීමේ ගැටලු, පෞද්ගලික සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් නොලැබීම සහ පිරවුම්හල් හිමියන්ගේ ගැටලුවලට රජය හා කළමනාකාරීත්වය නිසි මැදිහත්වීමක් සිදු නොකිරීම ද ඊට ඇතුළත්ය.
ඉන්ධන බෙදාහැරීම සඳහා නිසි නියාමකවරයෙකු පත් නොකිරීම සහ එම ක්‍රියාවලිය නියාමන කොමිෂන් සභාවක් යටතට පත් නොකිරීම ද බෙදුම්කරුවන් මුහුණ දෙන තවත් ගැටලු ලෙස සංගමය සඳහන් කරයි.
මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලධාරීන් අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බවද එම සංගමය පවසයි.
මේ අතර, ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ සේවකයින් ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය ලබාදිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින බව සඳහන් වේ.
ඒ අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට (29) දිනයේදී විශේෂ හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.