හදිසියේම මාළු මිල පහල යයි..හේතුව මෙන්න.

Covid Fire ship Fish price Peliyago fishing market
By Aruna Jun 09, 2021 02:36 AM GMT
Report

 කොවිඩ් දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පැනවීමෙන් පසු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට වැඩිම මත්ස්‍ය අස්වැන්නක් ලැබී ඇත්තේ ඊයේ (08 වැනිදා) බව එම වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය තොග ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ පැවසීය.

මේ ආකාරයෙන් ඊයේ (08 වැනිදා) මත්ස්‍ය ටොන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ලැබුණු බවද ටොන් තිහක පමණ ප්‍රමාණයක් ඉතිරි වී ඇති බවද හෙතෙම කීවේය.

එමෙන්ම පසුගිය සති කිහිපයේ අධික මිලකට අලෙවි වූ මත්ස්‍ය නිෂ්පාදන වර්ග රැසක තොග මිලෙහිද සැලකිය යුතු අඩුවීමක් ඊයේ (08 වැනදා) දක්නට ලැබුණේය.

පාරිභෝජනයද සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් ලේකම්වරයා කියයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ඇතිවූ තත්ත්වයත්, අයහපත් කාලගුණික තත්ත්වයත් මත පසුගිය සති දෙකක පමණ කාලයේදී මත්ස්‍ය නිෂ්පාදන ලැබීමේ සහ අලෙවි වීමේ විශාල අඩුවීමක් දක්නට ලැබුණු අතර මත්ස්‍ය නිෂ්පාදනවල මිලෙහි ඉහළ යාමක් ද දක්නට ලැබුණි.

තොග වෙළෙන්දන්ගේ ලොරී රථ සියයකට අධික ප්‍රමාණයක් ඊයේ (08 වැනිදා) වෙළෙඳ සංකීර්ණයට පැමිණි බවද තොග වෙළෙඳසල් එකසිය පනස් හතරම පාහේ විවෘතව පැවැති බවද ලේකම්වරයා පවසයි. පසුගිය සතියේ ඉහළ මිලකට අලෙවි වූ ලින්නන්, තලපත්, බල යන මාළු වර්ගවල මිලද ඊයේ (08 වැනිදා) වනවිට පහළ ගොස් තිබුණි.

එමෙන්ම මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පිහිටි ලංකා ධීවර සංස්ථාවේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් මත්ස්‍ය නිෂ්පාදන කිලෝග්‍රෑම් තුන්දහස් පන්සියයක ප්‍රමාණයක් ඊයේ (08 වැනිදා) දිනයේදී තොග වශයෙන් මිලදී ගත් බව එම සංස්ථාවේ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු චමීර ශානක අරුණ,ට ඊයේ (08 වැනිදා) පැවැසීය.

මත්ස්‍ය නිෂ්පාදන තොග වශයෙන් මිලදී ගෙන ජංගම රථ යොදවා දිවයින පුරා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ලංකා ධීවර සංස්ථාව දියත් කර තිබෙන බව එම සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ලලිත් දවුලගල සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now