යුධ උණුසම මැද්දේ ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළට
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ මෙරට ඉන්ධන මිල ඉහළ යාම වැනි ගැටලු හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් පවසති.
සාමාන්‍යයෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය ආසන්නයේදී භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මෙවර පවතින ගෝලීය අර්බුදය හමුවේ එම මිල ඉහළ යාම කලින්ම ආරම්භ වී ඇති බවට සඳහන්.
විශේෂයෙන්ම ආනයනික පරිප්පු සහ පොල්තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල මෙලෙස කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව දඹුල්ල තොග වෙළෙඳපොළ දත්තවලට අනුව, මීට පෙර රුපියල් 230ත් 240ත් අතර පැවති පරිප්පු කිලෝවක මිල මේ වන විට රුපියල් 310ත් 315ත් දක්වා ඉහළ ගොස් ඇති අතර ඇතැම් සිල්ලර වෙළෙඳසල්වල එය රුපියල් 350ත් 360ත් අතර මිලකට අලෙවි වේ.
මීට අමතරව, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන පිරිවැය වැඩි වීම නිසා එළවළු මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය එළවළු වෙළෙඳාමට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙති.
මෙම තත්ත්වය එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් එල්ල කරනු ඇතැයි වෙළෙඳපොළ විචාරකයෝ පවසති.