ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..
2025 ජුනි 11, මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) තීරණය කර ඇත.
මෙම තීරණය පිළිබඳව විස්තර ලබා දෙමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. එහිදී, කුඩා පරිභෝජන කාණ්ඩයට අයත්, මාසිකව ඒකක 90ට වඩා අඩු පරිභෝජනයක් සිදු කරන ආගමික ස්ථානවල විදුලි ගාස්තුවල කිසිදු වෙනසක් මෙවර සංශෝධනය යටතේ සිදු නොවන බව කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.
මෙම ගාස්තු සංශෝධනය හේතුවෙන් ගෘහස්ත හා වාණිජ පාරිභෝගිකයින්ට බලපෑම් එල්ල විය හැකි අතර, එහි බලපෑම පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය අයට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම හෝ ලංකා විදුලි බල මණ්ඩලය (CEB) සම්බන්ධ කර ගත හැකිය.
ඒ වගේම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබේ. ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80ක් බවට පත්වේ.
ඒකක 30 - 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රු 2කින් ඉහළ ගොස් ඇති අතර එහි ඒකකයක නව මිල රුපියල් 8කි.
ඒ අනුව එම කාණ්ඩයේ මාසික ගාස්තුව රු 10කින් ඉහළ යනු ලබන අතර එය රු 210ක් බවට පත් වේ.
මේ අතර ඒකක 61 - 90 සමස්ත බිල්පත් වැඩිවීම රු 240කට සීමාවේ. ඒකක 121 - 180 සමස්ත බිල්පත් වැඩිවීම රු 840කට සීමා වෙන අතර ඒකක 180ට වැඩි කාණ්ඩයට රු 2220කට සීමා වේ.
ඒ අනුව ගෘහස්ත අංශයේ විදුලි ගාස්තු සංශෝධනය රු 20 සිට රු 2220 දක්වා ඉහළ ගොස් තිබේ. ඒකක 180ට වැඩි ආගමික ස්ථානවලට මාසික ස්ථාවර ගාස්තුවල වැඩිවීමක් නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් ඉහළ යනු ඇත.
කර්මාන්ත අංශය පසුගිය වර්ෂයට අදාළව විදුලි ගාස්තුව ඒකක 300ට වැඩි වෙන විට ඒකක ගාස්තුව 4කින් සහ මාසික ගාස්තුව රු 50කින් ඉහළ යනු ඇත. විශාල කර්මාන්ත, හෝටල් සහ පොදු කර්මාන්තවල ස්ථාවර ගාස්තුව රු 5000 එලෙසම පවතින අතර, මාසික ඉල්ලුම් ගාස්තුව පමණක් රු 100කින් ඉහළ යනු ඇත.
ඒ අනුව ඉහත කාණ්ඩයේ රු 23ට පවතින ඒකක ගාස්තුව රු 28 දක්වා ඉහළ යනු ලබන අතර, රු 13 කින් පවතින ඒකකය රු 15 දක්වා සහ රු 11 පවතින ඒකකය රු 12 දක්වා රුපියලකින් ඉහළ යනු ඇත.
ඒ අනුව ඒකක ගාස්තු වැඩිවීම ශත 50ත් රු 9ත් අතර, පරාසයකින් ඉහළ ගොස් ඇති අතර, මාසික ගාස්තු වැඩිවීම රු 50ත් රු 100ත් අතර මට්ටමකින් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් මහතා පැවසීය.
සමස්ත වැඩිවීම බිලියන 276ක් ඉදිරිපත් කර ඇති යෝජනාවක් බිලියන 268කට සීමා කර ඇති අතර, එම ඉලක්කය ළඟා කර ගැනීම සඳහා මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය සියයට 15කින් ඉහළ දැමූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
