දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඊජිප්තුවේ මහා අනතුරක් - 7ක් මරු දකීද්දී 100කට වැඩි පිරිසකට තුවාල

By Malith Madushan Nov 09, 2026 04:16 AM GMT
Report

ඊජිප්තුවේ ගීසා (Giza) නගරය ආසන්නයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයන් හත්දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

අනතුර හේතුවෙන් දුම්රිය මැදිරි කිහිපයක් පීලි පැන මාර්ගය අසල බෑවුමකට පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊජිප්තු දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ ගීසා සිට ෆයුම් (Fayoum) දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, කයිරෝ සිට අස්වාන් (Aswan) දක්වා දකුණු දෙසට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එම අවස්ථාවේදී දෙවැනි දුම්රිය මාර්ගයේ නතර කර තිබී ඇත. අනතුර සිදුවූ ස්ථානයේ දර්ශනවලින් දැකගත හැකි වන්නේ දුම්රිය මැදිරි පෙරළී ගොස් තිබූ ආකාරයයි.

අනතුරෙන් දිවි ගලවාගත් මගීන් සහ ප්‍රදේශවාසීන් පෙරළී ගිය මැදිරි තුළ සිරවී සිටි තුවාලකරුවන් සොයා මෙහෙයුම්වල නිරත වන අයුරුද එම දර්ශනවල දැක්වේ.

මියගිය පුද්ගලයන් අතර එක් දුම්රියක රියදුරුද සිටින බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

තුවාල ලැබූවන් අතර අස්ථි බිඳීම් සහ හිසට සිදුවූ තුවාල සහිත පුද්ගලයන් සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය කාලිඩ් අබ්දෙල් ගෆාර් සඳහන් කර ඇත.

තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රදේශයේ රෝහල් සූදානම් කර ඇති අතර, ඊජිප්තු රතු අඩසඳ සංවිධානයද අනතුරට ලක්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහන සහ මානසික සහාය ලබාදීමට කටයුතු කර තිබේ.

ලෝකෙටම සුබ ආරංචියක් - තෙල් මිල පහළට - 2020න් පසුව සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම මෙන්න

ලෝකෙටම සුබ ආරංචියක් - තෙල් මිල පහළට - 2020න් පසුව සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම මෙන්න

මේ අතර, අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකීම් පැහැර හැර ඇති පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි රාජ්‍ය බලධාරීන්ට නියෝග කර තිබේ.

එරට රජයේ අභිචෝදක කාර්යාලය අනතුරෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා ඇත.

අනතුර හේතුවෙන් ගීසා සහ ඉහළ ඊජිප්තු ප්‍රදේශ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ. විනාශ වූ දුම්රිය මැදිරි ඉවත් කිරීම සඳහා විශාල දොඹකර යොදවා ඇති බවද වාර්තා වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ 2002 වසරේදී ඊජිප්තුවේ සිදුවූ දරුණුතම දුම්රිය ඛේදවාචකය සිදුවූ ප්‍රදේශයට ආසන්නව වීමද විශේෂත්වයකි.

එම වසරේ පෙබරවාරි මාසයේදී කයිරෝ සිට ලක්සෝර් දක්වා ධාවනය වූ මගී දුම්රියක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් 370කට අධික පිරිසක් මියගොස් තිබිණි.

නවතම අනතුරත් සමඟ ඊජිප්තුවේ ප්‍රවාහන අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීම්ද එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.