E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර එම රැකියා අවස්ථා ලබා දෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, දකුණු කොරියාවේ E-9 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට පසුගිය දා කාර්යාංශයේදී එක්වෙමිනි.
වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබා දීමට අවසර ලබා නොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබා දීමෙන් වලකින ලෙස සභාපතිවරයා තවදුරට ත් අවධාරණය කළේ ය.
“දකුණු කොරියාවේ රැකියාවලට අලුතින් ම එකතු වුණු වීසා කාණ්ඩය තමයි E-8 වීසා කාණ්ඩය. හැබැයි අපි හැමෝට ම ඒ වීසා කාණ්ඩය විවෘත කරන්නේ නෑ. නිසි කෘෂිකාර්මික දැනුමක් තියෙන සුදුසුකම්ලත් පුද්ගලයින් විතරයි අපි රැකියාවට යොමුකරන්නේ. ඒකෙදි E-8 වීසා කාණ්ඩයට අයත් රැකියා සඳහා තරුණයින් තෝරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණයි”
ඉදිරියේදී මෙම රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශ සකස් කරන බව ත් ඒ අනුව ශ්‍රමිකයින් බඳවාගන්නා ක්‍රමවේදය හා අවශ්‍ය කරන මූලික සුදුසුකම් පිළිබඳව මාධ්‍ය ඔස්සේ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.
