ප්‍රදේශයක්ම බියෙහි ගිල්වමින් වැවේ ජල කාන්දුව මහා ජල කඳක් දක්වා ඉහළට..පාසල් වසයි..පවුල් සියයක් ඉවත් කරයි..

Report

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අලුත්දිවුල්වැව වැව් බැම්මට සිදුව ඇති හානිය හේතුවෙන් පවුල් 100ක් මේ වන විට එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අලුත්දිවුල්වැව ජලාශය පිරීගොස් ඇති අතර අද (10) අළුයම එම වැවේ සොරොව්ව අසල ගිලා බැස්මක් හට ගෙන තිබුණි.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ, මේ හෙතුවෙන් අද උදෑසන සිට ජල කාන්දුවක් මතුව ඇති අතර එය මේ වන විට විශාල ජල කඳක් දක්වා වර්ධනය වී ඇති බවය.

පවතින තත්ත්වය තුළ දිවුල්වැව මහා විද්‍යාලය අද දිනයේ වසා දැමීමට සහ ගලෙන්බිඳුණුවැව සිට දුටුවැව යකල්ල දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දැමීමටද බලධාරීන් පියවර ගෙන තිබේ.

අද උදෑසන සිට සිදුවන හානිය අවම කරගැනීම සඳහා ගලෙන්බිඳුණු වැව පොලීසිය සහ යුධ හමුදාව සහ ප්‍රදේශයේ ජනතාව එක්ව මහත් පරිශ්‍රමයක් යොදා වැලි කොට්ට දැමීම සිදුකළද ගලා යන ජල කඳ නවතා දැමීමට හැකියාව ලැබී නැත.