ෂාෆ්ටර්ගේ මරණයේ පරීක්ෂණවලට අලුත් නියෝගයක්

By Sithumi Apr 25, 2023 03:47 PM GMT
Sithumi

Sithumi

Report

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තාවේ හමුවූ ආගන්තුක DNA සාම්පල පරීක්ෂා කිරීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩා විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ DNA සාම්පල සැසඳීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. 

  අධිකරණය මෙම අවසරය ලබා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. 

 ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී තිබෙනවා. 

 මීට පෙර එම ආගන්තුක DNA  සාම්පල සැසඳීම සඳහා බොරැල්ල කනත්තේ මුරකරුවකු , පොලිස් නිලධාරියෙකු ඇතුළු සිව්දෙනකුගේ සාම්පල ලබා ගෙන පරීක්ෂණ සිදුකළා එහෙත් එම DNA සාම්පල මෙම ආගන්තුක සාම්පල සමඟ සැසඳෙන්නේ නැති බවට වාර්තා ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. 

  එසේම, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා ඊයේ දින අධිකරණයේ පෙනී සිටිමින් දැනුම්දී සිටියේ මෙහි අවසාන වාර්තාව ලබාදීම සඳහා තවත් ලේඛන රැසක් අවශ්‍ය වන අතර රජයේ රස පරීක්ෂණ වාර්තා කිහිපයක් තවම පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය වෙත ලැබී නොමැති බවයි. 

 ඒ අනුව, අදාළ සියලු ලේඛන නැවත වරක් පරීක්ෂා කර බලා වෛද්‍ය මණ්ඩලය වෙත ලබා දීමට කටයුතු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත දැනුම් දී තිබෙනවා. මෙම නඩුව නැවත මැයි 8 වන දින කැඳවීමට නියමිතව තිබෙනවා.