ලක් මව රනින් සැරසු, දිනේෂ් ප්‍රියන්ත හේරත් ගැන කවුරුත් නොදන්න කතාව

Japan anuradhapura para Olympic dinesh priysnths kagama
By Sithumi Aug 30, 2021 04:06 PM GMT
Sithumi

Sithumi

Report

හරියටම මීට සතියකට පෙර අනුරාධපුර කාගම උපන් හේරත් මුදියාන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් ජපානයේ ටෝකියෝ නුවරට ගොඩ බසින්නේ එක සිතුවිල්ලක් පමණක් සිත්හි දරා ගනිමින්. ඒ පදක්කමක්, පදක්කමක්, පදක්කමක් යන්න පමණයි. දිනේශ්ගේ නම ඉදිරියේ ඒ වනවිටත් රියෝ ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්වෙන් දිනාගත් ලෝකඩ පදක්කමක් ලියැවී තිබුණා.

නව දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට නායකත්වය දෙමින් දිනේෂ් ප්‍රියන්ත හේරත් අගෝස්තු 30 වැනි දින ටෝකියෝ පිටියේදී හෙල්ල අතට ගන්නේ සිය පදක්කම් පිපාසාව සංසිඳුවා ගන්නා අරමුණෙන්. ඔහු සමගම 2016 පැරාලිම්පික් උළෙලේ රන් පදක්කම දිනාගත් ඉන්දීය ක්‍රීඩකයා වන දේවේන්ද්‍ර ජජාරියා ද මේ පදක්කමට ඉව අල්ලමින් සිටියා.

සිය පළමු උත්සාහය තුළදීම මීටර 62.58 ක දුරක් හෙල්ල විසි කළ දිනේෂ් සිය ඉසව්වේ ස්ථාවරය තහවුරු කරගත්තා. සිය තෙවැනි උත්සාහය සඳහා හෙල්ල අතට ගත් දිනේෂ්ගේ අතින් ගුවනට නික්මුණු හෙල්ල ගුවනේ පාවී ගොස් ටෝකියෝ පැරාලිම්පික් පිටිය සිප ගනිද්දී එහි මීටර 67.79 ක දුරක් සනිටුහන් වී තිබුනා.

ඒ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් රන් අකුරින් දිනේෂ් ප්‍රියන්ත හේරත් වෙනුවෙන් ලියා වෙන් කරමින්. එතෙක් මෙතෙක් මෙරට ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වූ විශිෂ්ඨතම ජාත්‍යන්තර පදක්කම දිනේෂ් වෙනුවෙන් වෙන්වුණේ ලෝක වාර්තාවක්ද සමගින් වීම තවත් විශේෂත්වයක්.

රන් පදක්කම ගෙල පළඳන්නට පෙරුම් පුරාගෙන ටෝකියෝ නුවරට පිවිසි දිනේෂ්ගේ ආසන්නතම ප්‍රතිවාදියා වන ඉන්දීය ක්‍රීඩක දේවේන්ද්‍ර ජජාරියාට අවසානයේ සිදුවූයේ රිදී පදක්කමෙන් සෑහීමකට පත්වන්නටයි. මේ ඉසව්වේ තුන්වන ස්ථානය තවත් ඉන්දීය ක්‍රීඩකයකු වන එස්.එස් ගුර්ජාර් සතු කර ගත්තා. ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන ගජබා රෙජිමේන්තුවේ සැරයන්වරයකු වන දිනේෂ් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවට යොමුවන්නේ යුද බිමේදී ආබාධයකට ලක්වීමෙන් අනතුරුවයි.

මීට වසර 13 ට පෙර කිලිනොච්චි සටන් පෙරමුනේදී දිනේෂ්ගේ වම් අතට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ටී 56 උණ්ඩ තුනක් ඇතුළු වනවා. ඒ වන විට යන්තම් දිනේෂ්ගේ වයස අවුරුදු 22 පසු කළා පමණයි. 2008 දෙසැම්බර් 16 දින මානුෂීය මෙහෙයුමේ අවසාන අදියරේදී ලද තුවාල සහිතව ලබා රාගම රණවිරු සෙවණ ට පැමිණෙන දිනේෂ් එහිදී වසර ගණනාවක දීර්ඝ පුනරුත්ථාපන ක්‍රියාවලියකට එක් වෙනවා.

මෙම අනපේක්ෂිත සිදු වීම දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බව එදින දිනේෂ් වත් සිතන්නට නැතුව ඇති එය ඔහුගේ ජීවිතයේ අඩක් අහිමි වූ වසර වූ නමුත් එය ඔහුට නව බලාපොරොත්තුවක් හා සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් ගෙන ඒවියැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇති.

ඔහුගේ ජීවිතයේ තවත් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සඳහා විශ්වාසය තහවුරු කර ගනිමින් කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත රාගම රණවිරු සෙවණේන් බැහැර වන්නේ වෛද්‍ය හේතු මත යුද හමුදාවෙන් විශ්‍රාම ගනිමින්. රාගම රණවිරු සෙවණ දියත් කරන යුද්ධයේදී ආබාධයන්ට ලක්වූ සෙබළුන් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ 2012 වසරේදී ගජබා රෙජිමේන්තුවේ ඉහළ නිලධාරීන් දිනේෂ්ට ක්‍රීඩා කිරීමට දිරිමත් කරනවා.

මේ ආරෝහ පරිනාහ යෞවනයා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවට සුදුසු විය හැකි බවට තීරණය කරන්නෙත් ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩාව භාර නිලධාරීන් විසින්මයි. වයස අවුරුදු 26 දී තමන් කිසි දිනක නියැලී නොසිටි ක්‍රීඩාවක අත්පොත් තබන දිනේෂ් අද වන විට මෙරට ක්‍රීඩා පුරාවෘත්තයක් බවට පත්වී අවසන්. දිනේෂ්ගේ ඇති ආබාධය අනුව ඔහු වර්ග කෙරෙන්නේ එෆ් 46 කාණ්ඩය යටතේයි. මෙම වර්ග කිරීමට අයත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැලමිටට පහළින් හෝ ඉහළින් එක් අතක අස්ථීන් කපා ඉවත් කිරීම්, අස්ථීන් ක්‍රියා නොකිරීම හෝ වෙනත් ආබාධ පවතිනවා.

මෙම කාන්ඩය යටතේ 2012 වසරේ පටන් විවිධ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සඳහා එක්වන දිනේෂ් 2016 වසරේ රියෝ පැරාලිම්පික් උළෙලට සහභාගී වන්නේ දැඩි පදක්කම් බලාපොරොත්තුවක් සහිතවයි. 2016 සැප්තැම්බර් 13 වැනි දින රියෝ පැරාලිම්පික් ආබාධිත එෆ්46 කාණ්ඩය යටතේ අවසන් වටයේ තරග වදින ඔහු මීටර් 58.23 දුර ප්‍රමාණයක් හෙල්ල විසිකරමින් පැරාලිම්පික් ලෝකඩ පදක්කම දිනාගන්නවා.

ඒ පැරාලිම්පික් පදක්කමක් දිනාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්. මීට පෙර 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 ටී 46 ඉසව්ව සඳහා එක්වූ ප්‍රදීප් සංජය ලෝකඩ පදක්කමක් දිනා තිබුනා. මෙම ජයග්‍රහණයෙන් අනතුරුව දිනේෂ්ගේ දක්ෂතා දිනෙන් දින ඔපමට්ටම් වෙනවා. 2016 රියෝ පදක්කමෙන් අනතුරුව එක්සත් රාජධානියේ පැවති ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී දිනේෂ්ගේ අතින් ගිලිහෙන හෙල්ල නවතින්නේ මීටර් 57.93ක දුරක් වාර්තා කරමින්.

ඒ එම ඉසව්වේ රිදී පදක්කම ඔහුගේ ගෙලට දමමින්. එමෙන්ම 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම ගෙල පැලදගැනීම සඳහා එෆ් 46 කාණ්ඩයේ මීටර් 61.84 ක දුරක් හෙල්ල විසිකරන්නටත් ඔහු සමත් වන්නේ නව තරග වාර්තාවක් මෙන්ම තමන් සතුව ඇති එම ඉසව්වේ ජාතික වාර්තාව ද අලුත් කරමින්. 1986 ජූලි 15 දින අනුරාධපුර කාගමදී වයි.එම්. කමලාවතී සහ එච්.එම්. ලොකුබණ්ඩාට දාව හේරත් මුදියාන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් උපත ලබන්නේ පවුලේ දෙවැනි දරුවා ලෙසින්.

කාගම ධාතුසේන මහා විද්‍යාලයට ඇතුළත් වී සිප්සතර හදාරන සමයේ පවා සෑම ළමයෙක්ම මෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ නමුත් එතැනින් එහාට සිදුකළ ක්‍රීඩාවක් නොවීය. යම්තම් දිනේෂ්ට වයස අවුරුදු 12 වන විට ඔහුගේ පියා මෙලොව හැර යන්නේ මවට දහසකුත් එකක් පබරපතළ ප්‍රශ්න රැසක් පමණක්ම ඉතිරි කර තබමින්. මේ නිසාම පාසල් යන අතරවාරයේදීත් දිනේෂ්ට ගෙදර ආර්ථිකය සවිමත් කිරීමේ වගකීමක් පැවරුණා.

මේ නිසාම කුඩා කාලයේදී ඔහු විඳදරාගත් දුෂ්කරතා වචනයෙන් විස්තර කිරීම අපහසු කාරනයක්. ඔහු සිය මවගේ ගොවිපල වැඩවලට උදව් කළ අතර ජීවත් වීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔහුගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වුනා. 2004 මාර්තු 18 දින සාලියපුර ගජබා රෙජිමේන්තුවේ පැවති යුද හමුදාවට ආධුනික සෙබළුන් බඳවා ගැනීම සඳහා වන දීර්ඝ පෝලිමට දිනේෂ් ප්‍රියන්ත එක් වන්නේ ඒ වන විටත් සිය පවුල වෙලාගත් ආර්ථික ප්‍රශ්න වලට යම් තරමක හෝ ශක්තියක් ලබා දීමේ අරමුණෙන්.

එහිදී යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ තුන්වෙනි බලකායට එක් වන අපගේ කතා නායකයා මානුෂීය මෙහෙයුමේ යුද පෙරමුණේ 2008 වසරේ යුද පෙරමුණේද දී තුවාල ලබන තෙක් අඛණ්ඩව සටන් වදිනවා.

“ක්‍රීඩාව මගේ ජීවිතයට බොහෝ වටිනාකම් එකතු කළා,තුවාල ලැබීමෙන් පසු මට ජීවිතයේ නව මානයක් පෙන්නුම් කළේ ක්‍රීඩාවයි,ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩකයෙකු වීමට මට මාවත විවර කළේත් මේ ක්‍රීඩාවමයි,ඔලිම්පික් රන් පදක්කම මගේ ප්‍රධාන සිහිනයයි,මෙය මාගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් ම නොවේ මෙය ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු ශක්තිය ලොවට කියාපාන අවස්ථාවක්, මේක සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම ඓතිහාසික ජයග්‍රහණයක් මට මේ හැඟීම විස්තර කරන්න වචන නැහැ, තමන් දිනාගත් රන් පදක්කමේ වැඩි ගෞරව බිරිඳට හිමිවිය යුතුයි”ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ධජය සිප ගනිමින් 35 හැවිරිදි මේ උත්සාහවන්ත ක්‍රීඩකයා කියා සිටියා.

හේරත් මුදියාන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පසුපස ලියැවී ඇත්තේ ධෛර්යය, ශක්තිය සහ අධිෂ්ඨානය පිළිබඳ අපූරු කතන්දරයක්. ඔබට කැමැත්ත ශක්තිය තිබේ නම් ඔබේ ආබාධ ඒ සඳහා නිදහසට කරුණක් නොවිය යුතු බව ඉස්මතු කරන කතාවක් ඔබ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට, අධිෂ්ඨානශීලීව කැපවීමට කැමති නම් එය නව ආරම්භයන් සඳහා සෑම විටම කදිම තෝතැන්නක් සකසන බවට සපථ කරණ කතාවක්. ජීවිතයේ දහසකුත් එකක් බාධක කම්කටොලු මැදහත් සිතින් විඳගත් අභියෝගවලට අභියෝග කරන්නේ කෙසේදැයි අපට පසක් කර දුන් ඔබට අපගේ ශීර්ෂ ප්‍රණාමය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha