වසා දැමූ දෙනියාය පාසල් පිළිබඳව විශේෂ නිවේදනයක්
දෙනියාය අධ්‍යාපන කලාපයේ පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා තාවකාලිකව වසා දැමූ පාසල් එළඹෙන මැයි 13 වන බදාදා දින සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන් පතිරණ මහතා ප්‍රකාශ කරයි.
මුලින් මැයි 12 වන දින අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වූවත්, සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමේ අරමුණින් විෂබීජහරණය කිරීමේ කටයුතු සඳහා තවත් දිනක කාලයක් ලබා දෙමින් මෙලෙස දිනය සංශෝධනය කර තිබේ.
ඒ අනුව අද සහ හෙට (මැයි 11 සහ 12) යන දෙදින තුළ දෙනියාය කලාපයේ සියලුම පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සහ විෂබීජහරණය කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
මෙම සත්කාර්යය සඳහා දායක වීමට කැමති ස්වේච්ඡා පිරිස් හෝ ආයතන වෙතොත් වහාම දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය හා සම්බන්ධ වන ලෙස බලධාරීන් ඉල්ලීමක් කර සිටී.
පාසල් 13 වනදා විවෘත වුවද, කුඩා දරුවන්ගේ ආරක්ෂාව සලකා කලාපයේ ඇති සියලුම පෙර පාසල් මෙම සතිය පුරා තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇත.
පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසුව ද දරුවන් අතර රෝග ලක්ෂණ පවතීද යන්න පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙසත්, උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම වෛරස් උණ තත්ත්වය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල උපදෙස් පරිදි පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන බලධාරීන් උපදෙස් දී තිබේ.