වැරදි කරන අය පක්ෂයෙන් එළියට – ධම්මපදය මතක් කරමින් සජිත් ප්‍රේමදාසගෙන් දැඩි තීන්දුවක්

Report

දේශපාලඥයන් මෙන්ම සාමවිනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳවද ජනතාව දැඩි අවධානයෙන් පසුවන බැවින්, නිවැරදිව, ස්වයං නියාමනයකට යටත්ව සහ ආචාරධාර්මිකව සිය සේවාව ඉටු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ධම්මපදයේ ඉගැන්වීම් අනුව සිය පක්ෂයද කටයුතු කරන බව සඳහන් කළ ඔහු, එම ප්‍රතිපත්තිවලට අනුකූලව ක්‍රියා කිරීමට අපොහොසත් වන පුද්ගලයන් පක්ෂයෙන් ඉවත් කරන බව ද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද (27) පැවති ප්‍රථම සමස්ත ලංකා සාමවිනිසුරු ප්‍රජා සංවර්ධන ජාතික සමුළුව අමතමිනි. සාමවිනිසුරු සේවාව ශක්තිමත් කිරීම සඳහා ගත යුතු සෑම පියවරකටම පූර්ණ සහාය ලබා දෙන බවත්, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීද හඬ නගන බවත් ඔහු සඳහන් කළේය.

සාමවිනිසුරු සේවයේ නිරත වීමේදී විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවන බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, එම පදවිය සඳහා අධ්‍යාපනසුදුසුකම් වැදගත් වුවද, ඒවා පමණක් තේරීම් සඳහා මූලික නිර්ණායකය නොවිය යුතු බව ද අවධාරණය කළේය.

අධ්‍යාපන සහතික නොමැති වුවද, ප්‍රජා සේවයේ කැපී පෙනෙන හැකියාව සහ පළපුරුද්ද ඇති පුද්ගලයන් ග්‍රාමීය මට්ටමින් සිටින බව පෙන්වා දුන් ඔහු, එවැනි පිරිසට ද සාමවිනිසුරු පදවිය සඳහා අවස්ථාව ලබාදිය යුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.