ඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇල්ලූ හැටි.
යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේ සිදුවූ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඩෙල්ෆ් පොලිසිය සමඟ උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්‍ෂණය යටතේ පත් කළ විශේෂ පොලිස් කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් කෙරුණු විශේෂ පරීක්‍ෂණයක් අතරතුරදීයි.
51 හැවිරිදි සැකකරු යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු වසර 20ක් පමණ විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රන් මාල, වළලු හා කරාබු කිහිපයක් ද තිබී සොයා ගත් බවයි වාර්තා වන්නේ.
සැකකරු රන්භාණ්ඩ කොල්ලකෑමට නිවසට ඇතුළුවූ අවස්ථාවේදී නිවැසියන් විසින් එම පුද්ගලයා හඳුනා ගැනීම හේතුවෙන් මෙලෙස ඝාතනය කර රන් භාණ්ඩ රැගෙන පළා යන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝගයන් මත රඳවා ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.
සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ ආරම්භ කෙරුණේ, යාපනයේ ඩෙල්ෆ් අකුරුතුරෙයි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කපා කොටා ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනකුගේ මළ සිරුරු පහක් පොලිසිය විසින් සොයා ගනු ලැබීමෙන් පසුව ය.
යාපනයේ ඩෙල්ෆ් අකුරුතුරෙයි ප්‍රදේශයේ නිවසක් තුළ හය දෙනාගෙන් පස් දෙනෙකුම ඝාතනයට ලක්වී සිටි අතර එක් කාන්තාවක් පමණක් බරපතළ ලෙස තුවාල ලබා තිබුණා.
මරණයට පත්ව සිටි සියලුදෙනාම වයස අවුරුදු 75 ඉක්මවන ලද අය වන අතර ඔවුන් ලන්ඩන් පුරවැසියෙකු වන වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍ර රත්නම් (78), නාගනාධි බාලසිංහම් (82), බාලසිංහම් කන්මනිපිල්ලේ (76), කාර්තිකේසු නාගේශ්වරී (83), යාපනයේ පදිංචිව සිටි මහාදේවන් (අවුරුදු 75) වශයෙන් හඳුනා ගෙන ඇත.
ඔවුන් නින්දට ගිය පසුව මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර දහවල් වනතුරුත් නිවසේ කිසිදු අයෙකු එළියට නොපැමිණීම නිසා ඇති වූ සැකයක් මත යාබද නිවසක අයෙකු කළ දැනුම් දීමකට අනුව පොලිසිය එම නිවසට ගොස් නිවෙස පරීක්‍ෂා කිරීමේදී පස් දෙනාගේ මළ සිරුරු හමු වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |