රෝදය කරකැවෙන්න නම් දම්වැලේ හැම පුරුකක්ම හොඳින් තිබිය යුතුයි – දසුන්ගෙන් සැර කතාවක් (VIDEO)

Cricket Covid 19 SLC Dasun shanaka
By Sithumi Sep 17, 2021 06:08 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දම්වැලකින් කරකැවෙන රෝදයක් බවත්, රෝදය කරකැවීමටනම් එහි පුරුක් සියල්ල හොඳින් තිබිය යුතු බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. දකුණු අප්‍රිකාව සමග පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0කින් පරාජය වීමෙන් අනතුරුව පෙරේදා (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් දසුන් මේ බව කියා සිටියේය. 

 කණ්ඩායමේ පිතිකරණ අංශයෙන් සිදු වූ අතපසුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි දසුන් ශානක ‘මම විතරක් නෙමෙයි සෑම පිතිකරුවෙක්ම තමන්ගේ ස්ථානයට අදාළ කාර්යය කළානම් මට වගේම කණ්ඩායමේ හැමෝටම ලේසියි. මේක දම්වැලක් වගේ. රෝදය කරකැවෙන්නනම් දම්වැලේ හැම පුරුකක්ම හොඳට තිබෙන්න ඕනේ’ යි යනුවෙන් පැවැසීය.

එම වීඩියෝව පහතින්,


දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාලුත්, දෙවැනි තරගයේදී දිනේෂ් චන්දිමාල් සමගින් කුසල් පෙරේරාත්, නැවතත් තෙවැනි තරගයේදී කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දුත් ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වශයෙන් කටයුතු කරන ලදී. 

 විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයට මාසයකට ආසන්න කාලයක් තිබියදීත්, ශ්‍රී ලංකා කණ්ඩායමට නිශ්චිත පිතිකරණ අනුපිළිවෙළක් නැතිදැයි නැගුණු පැනයට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායකයා ‘මේ තරගාවලි වලදී පිතිකරණ අනුපිළිවෙළ සම්බන්ධයෙන් අපි යම් යම් අත්හදා බැලීම් කරලා බැලුවා. නමුත් ලබන මාසයේ ඕමානය සමග පැවැත්වෙන තරගාවලියේදී හරිම 11 එක්ක සෙල්ලම් කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියටත් එය වැදගත් වෙනවා.’යි යනුවෙන් අදහස් දැක්වීය. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට සාපේක්ෂව දකුණු අප්‍රිකා දඟ පන්දු යවන්නන් වැඩි දඟ කැවීමකින් සහ නිවැරදි එල්ලයකින් පන්දුව පතිත කරමින් ප්‍රථිපල ලබාගනු තුන්වැනි තරගයේදී දක්නට ලැබිණි.

එහිදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට තරගයේදී වැඩි යමක් කළ නොහැකි වූයේ ක්‍රීඩාංගණයට පින්න පතිත වී තිබීම හේතුවෙන් බව දසුන්ගේ අදහසයි. තරගාවලිය පුරා අසාර්ථක වූ භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා සම්බන්ධයෙන් අදහස් දැක්වූ දසුන් ‘භානුකගෙන් බලාපොරොත්තු වූ දේ මේ තරගාවලියේදී කණ්ඩායමට ලැබුණේ නැහැ. නමුත් නායකයෙක් හැටියට මම දන්නවා භානුක විස්සයි විස්ස තරගයෙක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා. ඉදිරියේදී ඔහු අනිවාර්යයෙන් හොඳින් ක්‍රීඩා කරයි. ධනංජය ද සිල්වා ඉන්දියානු තරගාවලියේ හොඳට ක්‍රීඩා කළා.

ඔහු ක්‍රීඩා කරන ස්ථානය ගැන කිසි සේත්ම ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ක්‍රීඩකයෙක් එක් තරගාවලියක පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. එහෙමයි කියලා ඒ ක්‍රීඩකයා කවදාවත් නරක් වෙන්නේ නැහැ. අපි දන්නවා ඔවුන්ගේ හැකියාවන්. වැරදි කතා කරනවාට වඩා අපි මේ වෙලාවේ කණ්ඩායම සමගින් විශ්වාසයෙන් ගමනක් යා යුතුයි කියලා මම හිතනවා’යි යනුවෙන් කීවේය. ගයාශාන් විතානආරච්චි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha