එන්නතේ මිල හෙළිකලොත් එන්නත් සැපයීම අහෝසියි...චීනයෙන් රතු එළියක්.

Covid China Sri Lanka Vaccines Synofarm
By Aruna Jun 29, 2021 12:43 AM GMT
Aruna

Aruna

Report

යම් හෙයකින් එන්නතේ මිල ගණන් අනාවරණය කළහොත් හෝ ප්‍රසිද්ධියේ ඒ පිළිබඳ කතා කළහොත් එන්නත් සැපයීමට අදාළ ගිවිසුම අහෝසි කෙරෙන බවද සිනොවැක්ස් ලයිෆ් සයන්ස් කම්පැනි ලිමිටඩ් (Sinovac Life Science Co. Ltd) දැනුම් දී තිබේ.

මීට සමගාමීව කොළඹ චීන තානාපති කාර්යාලයද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ‘අනාවරණය නොකිරීමේ ගිවිසුම’ යනු ලොව පුරා ඖෂධ සමාගම් සිය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අනුගමනය කරන පොදු ලක්ෂණයක් බවයි.

කෙසේ වෙතත් මෙරටදී නිෂ්පාදනය කිරීමට නියමිත සිනොවැක්ස් එන්නත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත අලෙවි කිරීමට යෝජනා වී ඇති මිල එක් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 10 ක් පමණ වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය.

මේ අතර අදාළ ගිවිසුම් කරුණු පිළිබඳ තොරතුරු අනාවරණය නොකළ යුතු බවට සඳහන් ලිපියක් සිනොවැක් සමාගමේ දේශීය නිෂ්පාදන සහකරු වන කෙලුන් ලයිෆ් (Kelun Life) පෞද්ගලික සමාගම ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වෙත යොමුකර ඇත.

මේ පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කරන ලද්දේ එවැනි ලිපියක් පිළිබඳ තමාට දැන ගන්නට ලැබී ඇති නමුත් මෙතෙක් එවැන්නක් තමාගේ අතට පත් වී නොමැති බවයි.

සිනොවැක් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීම පිළිබඳ සමග අදහස් පළ කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කරන ලද්දේ මහනුවර පල්ලෙකැලේ පිහිටි කර්මාන්තශාලාවක මෙම එන්නත නිෂ්පාදනය කිරීමට නියමිත බවය.

අදාළ කර්මාන්තශාලාව ඖෂධ නිෂ්පාදනය කිරීමට සුදුසු අයුරින් සකස් කළ යුතු බවද මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිත බවද ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරටට අලෙවි කිරීමේදී එක් මාත්‍රාවක් ඩොලර් 15 කට ලබා දීම සහ බංග්ලාදේශයේදී ඊට ඩොලර් 10 ක මිලක් නියම කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේදී විශාල ආන්දෝලනයක් නිර්මාණය විය.

එම සිදුවීමෙන් අනතුරුව සයිනොෆාම් එන්නත් අලෙවි කිරීමේදී ඊට අදාළ මිල අනාවරණය නොකළ යුතු බවද චීනය විසින් නේපාලය ඇතුළු රටවල් කිහිපයකටම කොන්දේසි පනවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha