ඩෙල්ටා ආසාදිතයන් ගෙන් 30%ක් එක දිස්ත්‍රික්කයෙන්

Covid 19 Sri lanka
By Sithumi Jul 26, 2021 01:56 PM GMT
Sithumi

Sithumi

Report

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සිටියහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (26) ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඩෙල්ටා ආසාදිතයින් 30%ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි බවය. 

 එමෙන්ම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්ද දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 5 දෙනෙකු පමණ වාර්තා වන බව එම රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශකළේය. මේ අතර, තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 90,000ක් අමෙරිකාවේ සිට අද මෙරටට රැගෙනඑනු ලැබීය.

ඒ අද අලුයම 2.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකිනි. පසුව එම එන්නත් තොගය නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් අධි ශීතකරණවල ගබඩා කෙරුණි. මේ අතර චීන පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබෙන තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් හෙට (27) මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 

 ඒ අනුව මේ දක්වා මෙරටට ලැබුණු සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන එක් කෝටි හත් ලක්ෂයකි. ඊයේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 320,272 ක් ජනතාවට ලබාදී ඇති බව වාර්තා වේ. වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන ලක්ෂ 74 ඉක්මවා තිබේ. මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව 1,806,612කි.