“ෆයිසර්”, “ඇස්ට්‍රසෙනෙකා” සහ සයිනොෆාම් එන්නත් ගැන තවත් හෙළිදරව්වක්.

Covid Sri Lanka Synofarm Astrosenika Sinofarm
By Aruna Aug 27, 2021 06:30 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය මාස 06ක පමණ කාලයකට පසු කෙමෙන් දුර්වල වීමට පටන් ගන්නා බව බ්‍රිතාන්‍යයේ කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

මේ බව හෙළි වී ඇත්තේ ෆයිසර් සහ ඇස්ට්‍රසෙනෙකා එන්නත් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකින්.

මේ නිසා මෙම එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාව මතු වන බව විශේෂඥයන්ගේ අදහසයි.

ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී මාසයකට පසු එහි ඵලදායිතාව සියයට 88ක් වුවත්, මාස 5 – 6 අතර කාලයකට පසු එය සියයට 74ක් දක්වා අඩු වී තිබූ බවයි වාර්තා වන්නේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මුල් ඵලදායීතාව සියයට 77ක් වූ අතර මාස 4 – 5 කාලයකට පසු එය සියයට 67 දක්වා අඩු වී තිබූ බව සඳහන්.

කෙසේ නමුත් මෙම තොරතුරු අදාළ වන්නේ ඉහළ වයස් කාණ්ඩවල අය සම්බන්ධයෙන් පමණක් බවද මෙම අධ්‍යයනය සිදු කළ කණ්ඩායම පවසා තිබෙනවා.

අඩු වයස් කාණ්ඩවල අයට එන්නත් ලබාදී තවමත් එතරම් කාලයක් ගත වී නොමැති නිසා ඔවුන් තුළ එන්නතේ ක්‍රියාකාරිත්වය ගැන තීරණය කිරීමට තවම දත්ත ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පවසා ඇත්තේ.

මෙම අධ්‍යයනය කරනු ලැබ ඇත්තේ සොඊ (Zoe) නමැති ආයතනයක් විසින්.

ඔවුන් පවසන්නේ මේ ආකාරයෙන් එන්නත්වල ශක්තිය අඩු වෙද්දී ඒ පිළිබඳ කිසිවක් නොකර බලා සිටින්නට නොහැකි බවයි.

විශේෂයෙන් තවමත් ආසාදිතයන් වාර්තා වීම ඉහළ මට්ටමක තිබෙන පසුබිමක් තුළ යම් පියවරක් ගත යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර මෙම වසර අවසානය වනවිට විශේෂයෙන් වැඩිමහලු ජනතාවට සහ වයිරසයෙන් වැඩි තර්ජනයක් සහිත පිරිස්වලට තුන්වැනි මාත්‍රාවක් ලබාදීමට එක්සත් රාජධානිය සහ තවත් යුරෝපා රටවල් සූදානම් වෙමින් සිටිනවා.

ඇමරිකාවද මෙයට මාස 8කට පෙර එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත් අයට සැප්තැම්බර් මැද භාගයේ සිට තුන්වැනි මාත්‍රාවක් ලබාදීමට සැලසුම් කරමින් සිටි අතර ඊශ්‍රායලය එරට ඇතැම් වයස් කාණ්ඩවල ජනතාවට තුන්වැනි මාත්‍රාවක් ලබාදීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.

මේ අතර චීනයේ සිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන් විදේශගතවීමකදී ඕනෑම රටක පිළිගන්නා එන්නතක් බව සෞඛ්‍ය අංශ පවසනවා.

දැනට එක් එක් රටවල් අනුව එම රටවල් වල පවත්නා නිරෝධායන රීති වලට යටත්ව අදාළ රටට ඇතුළුවීමට හැකි බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha