ලිට්‍රො සමාගමට එක් දවසක්...අද ලබා දුන් අධිකරණ නියෝගය මෙන්න..!

By Sewvandhi Dec 14, 2021 11:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට හෙට (15) දින තෙක් කල් ලබාදුන්නේය.

ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (14) කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය විසින් එම කල් ලබාදීම සිදුකළේය.

එම පෙත්සම අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල යෝජනා කර සිටියේ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය සහ එම සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව සහ දැනට වෙළෙඳපොළට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට හැකියාවක් තිබේදැයි විමසා සිටියේය.

එම අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසුරිය මහතා අධිකරණයට දන්වා සිටියේ, මේ පිළිබඳව තම සේවාදායකයන් ගෙන් විමසා කරුණු ඉදිරිපත් කිරීමට හෙට දින තෙක් කල් ලබා දෙන ලෙසය. ඒ අනුව අදාළ පෙත්සම හෙට දින යළි කැඳවීමට නියම කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now