ගිනි අනතුරු ඉහළ යාමක් ගැන කොළඹින් අනතුරු ඇඟවීමක් - නිවාස හා ආයතනවලට විශේෂ උපදෙස්
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ කොළඹ සහ අවට ප්‍රදේශවලින් ගිනි අනතුරු 258ක් වාර්තා වී ඇති බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ගිනි අනතුරු සම්බන්ධයෙන් මේ දක්වා ගලවා ගැනීමේ මෙහෙයුම් 17ක් සිදු කර ඇති බවද දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසරේදී පමණක් කොළඹ දිස්ත්‍රික්කය තුළ ගිනි අනතුරු 382ක් වාර්තා වී ඇති අතර, එම සිදුවීම්වලට අදාළව ගලවා ගැනීමේ මෙහෙයුම් 46ක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ගිනි අනතුරු 258ක් වාර්තා වීම සැලකිල්ලට ගත යුතු කරුණක් බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවත් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ගිනි අනතුරුවලට අමතරව, මේ වසරේ මේ දක්වා හදිසි සේවා ඇමතුම් 13කටද දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා තිබේ.
එම හදිසි මෙහෙයුම් අතර මාර්ග අවහිරතා, ගස් කඩා වැටීම් සහ රිය අනතුරු හේතුවෙන් සිදු කළ ගලවා ගැනීමේ කටයුතුද ඇතුළත් වේ.
ගිනි අනතුරු ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් පිළිබඳව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අතර සේවා ස්ථානවල ප්‍රමාණවත් ගිනි ආරක්ෂණ ක්‍රමවේද නොමැතිවීම, හදිසි අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර නොදැක්වීම, නිවාස හා වාණිජ ස්ථානවල අනාරක්ෂිත විදුලි සම්බන්ධතා හා භාවිතයන් සහ පවතින වියළි කාලගුණ තත්ත්වය ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ.